ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පසුගිය ලෝක කුසලාන තරගාවලයේදී දිගින් දිගටම ආබාධ වලට ගොදුරුවීම සහ ඔවුන් දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩකයන් වෙනුවෙන් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
මෙම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය කිලෝමීටර 2ක දුර දිවීම සහ ස්කින් ෆෝල්ඩ් පරීක්ෂාව ඇතුළු පරීක්ෂණ 5කින් සමන්විත වන අතර එක් එක් පරීක්ෂණ වලින් ක්‍රීඩකයන් ලබාගන්නා ලකුණු අනුව සමස්ත ලකුණු ගණනය කරයි.
ක්‍රීඩකයෙක් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත්වීමට නම් ලකුණු 17ට වඩා ලබාගත යුතු අතර පසුගිය දින කිහිපයේ පැවති අදාළ පරීක්ෂණයෙන් සමත්ව ඇත්තේ ඊට සහභාගීවූ ක්‍රීඩකයින් 46 දෙනෙකුගෙන් 27 දෙනෙකු පමණක් බව වාර්තා වේ.
මෙම පරීක්ෂණයේදී ලකුණු (0 – 16)ට දක්වා ලබාගන්නා ක්‍රීඩකයන් අසමත් ලෙස සැලකෙන අතර ලකුණු (17 – 21) දක්වා මධ්‍යස්ථ ලෙසත් ලකුණු (22 – 26) දක්වා ඉතා හොඳ ලෙසත් ලකුණු (26 – 29) දක්වා විශිෂ්ඨ ලෙසත් කාණ්ඩ 4කට බෙදා ඇත.
එම නිර්නායකයන්ට අනුව යෝග්‍යතා පරීක්ෂණය සමත්ව ඇත්තේ ක්‍රීඩකයන් 27 දෙනෙක් පමණක් බවත් ශාරීරික යෝග්‍යතා අසමත් ලෙස සැලකෙන ලකුණු (0 – 16) දක්වා සීමාවේ ක්‍රීඩකයන් 19ක් සිටින බව වාර්තා වේ.
මෙම පරීක්ෂණය සමත්වූවන් අතරින් මධ්‍යස්ථ කාණ්ඩයේ ක්‍රීඩකයන් 16ක්, ඉතා හොඳ කාණ්ඩයේ ක්‍රීඩකයන් 9ක් සහ විශිෂ්ට කාණ්ඩයේ ක්‍රීඩකයන් දෙදෙනෙකු සිටින බව වාර්තා වේ.
ඒ අනුව ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ දිගින් දිගටම අසමත් වන ක්‍රීඩකයින් තේරීම් සඳහා සලකා නොබලන බවද වාර්තා වේ.

