ප්‍රධාන අභියෝග තුනක් පොලීසිය හමුවේ පවතින බවත් ඒවා ජය ගැනීම සඳහා මානව සම්පත් සංවර්ධනය, නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය මෙන්ම යටිතල පහසුකම් සහ විනය පාලනය ඉහළ නැංවීමට පියවර ගනිමින් සිටින බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කරයි.
සංවිධානාත්මක අපරාධ මර්දනය, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම ඇතුළු මත්ද්‍රව්‍ය ව්‍යසනය මර්දනය කිරීම සහ රථවාහන පාලනය හෙවත් මාර්ග විනය පවත්වාගෙන යාම දැනට පවතින ප්‍රධානතම අභියෝග තුන බව පොලිස්පතිවරයා සඳහන් කරයි.
මොණරාගල පොලිස් කොට්ඨාසයට අයත් බුත්තල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති නිල නිවාසය විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කරයි.
වසරකට නිලධාරීන් 2,000 – 2,500ත් අතර සංඛ්‍යාවක් විශ්‍රාම යන අතර හදිසි අනතුරු සහ ස්වාභාවික හේතූන් මත තවත් 250ක් පමණ මියයාම හෝ ආබාධිත තත්ත්වයට පත් වන බවද පොලිස්පතිවරයා සඳහන් කරයි.
විනය පාලනයක් නැති ආයතනයක් කඩා වැටීම වැළැක්විය නොහැකි බැවින් පොලිස් නිලධාරීන්ගේ විනය සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩිව ක්‍රියා කරන බවද පොලිස්පතිවරයා සඳහන් කරයි.
පොලිස්පතිවරයා තවදුරටත් සඳහන් කළේ,
“මම පොලීසියේ පහළම ස්තරයේ ඉඳලා, අද මෙහෙම කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ, මම මං ගැන පසු විපරමක් තිබුණ හින්දා.
ඒ පසු විපරම තුළ මම පොලිස්පති වුණාට පස්සෙත්, මගේ අවුරුද්ද තුළ මගේ වැඩබලන පොලිස්පති විදිහට කරපු වැඩ ටිකත්, ඊට පස්සේ පොලිස්පති තනතුර ලැබීමෙන් පසුව කරපු දේවල් සම්බන්ධයෙනුත් මට පසු විපරමක් තිබුණා.
ඒ කාර්ය සාධනයේ මා ඉෂ්ට කළ යුතුයි, ඒ ඉෂ්ට කළ යුතු වෙන්නේ මට බැබලෙන්න නෙමෙයි, මගේ සේවය බැබලෙන්න. මගේ මේ පොලිස් සේවය කියන සේවය බැබලෙන්න අවශ්‍යයි. ඒ නිසා ඒ සේවය බැබලෙන්න නම්, ඒ බැබලෙන්න ඕන මහජනයා ඉස්සරහා.
මහජනයාට නොගැලපෙන පොලීසියක්, මහජන විශ්වාසය නැති වූ පොලීසියක්… කවදාවත් අපිට මහජන විශ්වාසයකින් තොරව පොලීසියක් පවත්වාගෙන යන්න බෑ.“
