ශ්‍රී ලංකාව තුළ ජීවමානව පවතින මෛත්‍රියේ සහ දයාවේ ප්‍රබලත්වය අපි අත්දැක්කා

නමෝ බුද්ධාය, නමෝ ධම්මාය, නමෝ සංඝාය.

ගෞරවනීය මහා සංඝරත්නයෙන් සහ බෞද්ධ විහාරස්ථ සභාවලින් අවසරයි,
ශ්‍රී ලංකාවේ ගරු ජනාධිපතිතුමනි,
ගරු අග්‍රාමාත්‍යතුමියනි,
ගෞරවනීය රාජ්‍ය නිලධාරීනි
සියලුම ආගමික නායකයිනි,
ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා විසිරී සිටින ආදරණීය සහෝදර සහෝදරියනි,
ආයුබෝවන්!
කෘතඥතාවයෙන් පිරි හදින් යුතුව මම ඔබ සැමට ගෞරවපූර්වකව ආචාර කරමි.

අද දින අප සැම එක්ව සිටින්නේ සාමය උදෙසා ශ්‍රී ලංකාවේ පැවැත් වූ මෙම පාගමන සාර්ථකව නිමා කරන අවස්ථාවේ. මෙය හුදෙක් ඔබේ දේශය හරහා ‌භෞතිකව ගිය ගමනක් පමණක් නොවේ. එය එක් හදවතක සිට තවත් හදවතකට බැඳුණු සම්බන්ධතාවක්. පියවරෙන් පියවර, නගරයෙන් නගරය පසු කරද්දී, ශ්‍රී ලංකාව තුළ ජීවමානව පවතින මෛත්‍රියේ සහ දයාවේ ප්‍රබලත්වය අපි අත්දැක්කා.

අපි වර්ෂාව මැද ඇවිද ගියා, දැඩි හිරු රශ්මිය මැද ඇවිද ගියා, ශරීරයට මෙන්ම මනසටද අභියෝගයක් වූ රළු තාර පාරවල් මත පාවහන් රහිතව ඇවිද ගියා. එහෙත්, සෑම දුෂ්කරතාවකදීම මේ සුන්දර රටේ ජනතාව අප නොසලකා හැරියේ නැහැ. ඔවුන් ප්‍රතිචාර දැක්වූයේ දයාවෙන්. අපගේ මාවත සුවපහසු කිරීමටත්, වේදනාව සමනය කිරීමටත් පාරවල් පුරා ජලය ඉස, කෙසෙල් කොළ සහ මල් ඇතිරිලි අතුරා තිබුණා.

ඔබ පෙන්වූ ගෞරවය, මුවඟ රැඳි සිනහව සහ විවෘතව ලබාදුන් රැකවරණය සැබෑ ශක්තිය කුමක්දැයි පෙන්වා දුන්නා. සාමකාමී ජාතියක් යනු මෙවැන්නක්. මේ වෙනුවෙන් මගේත්, සාම පා ගමන් කණ්ඩායමේත්, මෙම ගමන අත්වින්ද සැමගේත් හෘදයාංගම ස්තූතිය පුද කරනවා.

අද දින මම ඉතා වැදගත් කරුණක් සිහිපත් කිරීමට කැමතියි. අප තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ පුද්ගලයෙකුට සාමකාමීව ජීවත්වන ආකාරය පමණක් නොව, ජාතියක් ලෙස සාමය ස්ථාපිත කර පවත්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳවත් මඟ පෙන්වා තිබෙනවා.

සමාජයක සහජීවනය පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන ගුණාංග හතක් තිබෙනවා. ඒවා අතීතයේ දේශනා කළද අදටත් ඉතාමත් වලංගුයි.

පළමුවෙන්ම, සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා නිවැරදි සහ වැදගත් දෑ පිළිබඳව සාකච්ඡා කිරීමට ජාතියක් නිරන්තරයෙන් සාමූහිකව රැස්විය යුතුයි. ප්‍රඥාවෙන් සහ අවබෝධයෙන් යුතුව සන්නිවේදනය කිරීම නැවැත්වූ විට බෙදීම් ආරම්භ වෙනවා.

දෙවනුව, එසේ රැස්වන විට සමගි සම්පන්නව රැස්විය යුතුයි. සමගියෙන් කටයුතු කළ යුතුයි. සමගියෙන් විසිර යා යුතුයි. රැස්වීම පමණක් ප්‍රමාණවත් නොවේ, අප එකිනෙකාට සලකන ආකාරයද වැදගත්.

තෙවනුව, සාමකාමී ජාතියක් යුක්තියට සහ සදාචාර මූලධර්මයට ගරු කළ යුතුයි. ආවේගශීලී හෝ කිසිදු ජීවියෙකුට හානිකරන ක්‍රියා මගින් අක්‍රමිකතා ඇති නොකළ යුතුයි.

සිව්වනුව, ජීවන අත්දැකීම් සහ ප්‍රඥාව ඇති වැඩිහිටියන්ට ගරු කළ යුතුයි. වැඩිහිටියන් නොසලකා හරින සමාජයක වටිනාකම් ගිලිහෙනවා.

පස්වනුව, කාන්තාවන් සහ දරුවන් ආරක්ෂා කළ යුතුයි. ආරක්ෂාව සහ ගෞරවය ඇති තැන ස්ථාවරභාවය සහ වර්ධනය පවතිනවා.

හයවනුව, ආධ්‍යාත්මික සහ සංස්කෘතික වටිනාකම් සුරැකිය යුතුයි. පූජනීය ස්ථාන, සම්ප්‍රදායන් සහ ඉගැන්වීම් ජාතියක අනන්‍යතාවේ නැංගුරම් ලෙස සැලකිය හැකියි.

සත්වනුව, සාරධාර්මික ජීවිතයක් ගත කරන අයට ජාතියක් ගරු කළ යුතුයි. මන්ද, ගුණවත් පුරවැසියන් යනු සමාජයක නිදහස, ස්ථාවරත්වය සහ සදාචාරය පවත්වා ගැනීමේ පදනමයි.

මෙම ගුණාංග සුරකින්නේ නම්, සාමය යනු අප හඹා යා යුතු දෙයක් නොවේ. එය අප ස්වභාවිකවම අත්විඳින දෙයක් බවට පත් වෙනවා.

එහෙත් අද මට මෙය තවත් පියවරක් ඉදිරියට ගෙන යාමට අවශ්‍යයි. අප සෑම කෙනෙකුටම තමන්ගේ අභ්‍යන්තරිකව ලෝකයක් පවතිනවා. මේ කය සහ මනස තුළ සීමා මායිම් තිබෙනවා, ගැටුම් තිබෙනවා, සාමයද තිබෙනවා. අපට අපගේ අභ්‍යන්තර ලෝකය ප්‍රඥාවෙන් පාලනය කළ නොහැකි නම්, බාහිර ලෝකය සාමකාමී වනු ඇතැයි අප බලාපොරොත්තු වන්නේ කෙසේද?

එබැවින් ඔබෙන්ම අසන්න. මම මගේ සිතුවිලි දෙස සතිමත්භාවයෙන් බලනවාද? මම යහපත් දේට ගරු කර අයහපත් දේ මගහරිනවාද? මම මගේ අභ්‍යන්තරයේ සහ වටපිටාවෙහි පවතින ප්‍රඥාවට සවන් දෙනවාද? මම කරුණාව සහ ඉවසීම පුරුදු කරනවාද? සෑම පුද්ගලයෙකුම තමා තුළ සාමය ඇති කර ගන්නේ නම්, පවුල් සාමකාමී වෙනවා, සමාජය සාමකාමී වෙනවා, ජාතීන් සාමකාමී වෙනවා, එවිට මුළු ලෝකයම සාමකාමී වෙනවා. සාමය ගොඩනැගෙන්නේ බාහිරින් ඇතුළට නොවේ, අභ්‍යන්තරයෙන් බාහිරටයි.

මෙම ගමනේදී අපි තනි වූයේ නැහැ. ඉතා සුවිශේෂී ජීවියෙකු අප සමඟ ඇවිද ගියා, ඒ “ආලෝකා”. ආලෝකාට අපේ භාෂාව කතා කිරීමට හඬක් නැහැ. එහෙත් ඔහු අප සැමට ඉතා ගැඹුරු යමක් සන්නිවේදනය කළා. මෛත්‍රිය කරුණාව සීමා නොවිය යුතු බව ඔහුගේ පැවැත්මෙන් අපට මතක් කර දුන්නා. එය සියලු සත්වයන් වෙත ව්‍යාප්ත විය යුතුයි. සමාජයක් සතුන්ට සලකන ආකාරය එම සමාජයේ මනුෂ්‍යත්වයේ ගැඹුර පිළිබිඹු කරයි. ශ්‍රී ලංකාවේදී අප දුටු දේ සැබවින්ම දිරිගන්වන සුළුයි. මඟ දෙපසදී ආලෝකට සහ අනෙකුත් සතුන්ට පෙන්වූ ආදරය, රැකවරණය සහ කරුණාව අපගේ හදවතට බෙහෙවින් දැනුණා.

මෙය මෙම පා ගමනින් පමණක් අවසන් වීමට ඉඩ නොදෙන්න. එයට වර්ධනය වීමට ඉඩ දෙන්න. සතුන් යනු භාණ්ඩ නොවන බවත්, ඔවුන් බිය, විශ්වාසය සහ හැඟීම් ඇති ජීවීන් බවත් යන අවබෝධය තවදුරටත් ශක්තිමත් කරගනිමු. ඔවුන් අපේ කරුණාව බලාපොරොත්තු වෙනවා. කුඩා හෝ වේවා විශාල හෝ වේවා සියලු සතුන් ඇතුළත් නොවන තාක් අපගේ මෛත්‍රිය සම්පූර්ණ වන්නේ නැහැ.

අද දින ශ්‍රී ලංකාවේ මහා සංඝරත්නය වෙත මාගේ හෘදයාංගම කෘතඥතාව පළ කිරීමටද මම කැමතියි. ඔබ වහන්සේලාගේ ආශිර්වාදය, මගපෙන්වීම සහ වැඩසිටීම මෙම ගමනට විශාල ශක්තියක් වුණා. එමෙන්ම ගරු ජනාධිපතිතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමනි සහ රජයේ සියලුම නිලධාරීනි, ශ්‍රී ලංකාව තුළ මෙම අවස්ථාව සහ සාමය උදෙසා වූ පා ගමන සාර්ථක කර ගැනීමට ඔබ ලබා දුන් සුවිශේෂී සහයෝගයට ස්තුතිවන්ත වෙනවා.

එසේම, ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස්හි “ධම්මචේතිය” ව්‍යාපෘතිය සඳහා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පූජනීය බෝධි අංකුරයක් තෑගි කිරීම පිළිබඳව අපගේ ගෞරවනීය කෘතඥතාව පළ කරනවා.

මෙය හුදෙක් තෑග්ගක් පමණක් නොව, ශ්‍රී ලංකාව සහ ලෝකය යා කරන ජීවමාන ධර්ම පාලමක්. එසේම ඇමරිකාවේ “හං දාඕ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ” පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උත්සවයේදී සර්වඥ ධාතූන්වහන්සේලා ප්‍රදර්ශනය කිරීමට අවසර දීම පිළිබඳවද අපි කෘතඥ වෙනවා. මෙය දහස් ගණනකගේ සිත් සතන් පහන් කරන උතුම් පින්කමක්.

මෙම ත්‍යාගශීලීභාවය සහ විශ්වාසය වෙනුවෙන් මහා සංඝරත්නයටත්, ගරු ජනාධිපතිතුමාටත්, ගරු අග්‍රාමාත්‍යතුමියටත්, සමස්ත ශ්‍රී ලංකා වාසී ජනතාවටත් අපගේ ගැඹුරු කෘතඥතාව පළ කර සිටිනවා. එමෙන්ම නාවික හමුදාවට, නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට සහ ආරක්ෂක අංශවලටත්, කැපවීමෙන් කටයුතු කළ පශු වෛද්‍ය කණ්ඩායමට, වෛද්‍ය කණ්ඩායමට සහ මාධ්‍ය කණ්ඩායමටත් අපගේ ස්තූතිය හිමියි.

අපව සාදරයෙන් පිළිගත් සෑම ආගමික නායකයෙකුටම සහ සත්කාර කළ අයටත්, සෑම පරිත්‍යාගශීලියෙකුටම, ස්වේච්ඡා සේවකයෙකුටම මෙන්ම මෙහි සිටින සහ ලොව පුරා අන්තර්ජාලය ඔස්සේ නරඹමින් මේ සඳහා සහාය දෙන අයටත් මම මගේ හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. ඔබ සැම මෙම සාමයේ පංගුකරුවන්. කිසිදු පුද්ගලයෙකු මෙම මාවතේ තනිව ගමන් කරන්නේ නැහැ.

අවසාන වශයෙන්, මම ඔබට සරල පුහුණුවක් ඉතිරි කරනවා. මෙම ගමන පුරාවටම මම එකම පණිවිඩයක් නැවත නැවතත් බෙදා ගත්තා. එය සරල නමුත් ඔබ එය අවංකව පුහුණු කරන්නේ නම් ඉතා බලවත් එකක් වේවි.

සිහියෙන් සිටින්න. ඔබේ සිතුවිලි පිළිබඳව සිහියෙන් සිටින්න. ඔබේ වචන පිළිබඳව සිහියෙන් සිටින්න. ඔබේ ක්‍රියාවන් පිළිබඳව සිහියෙන් සිටින්න. එමෙන්ම ඕනෑම පසුබිමක්, විශ්වාසයක් හෝ අනන්‍යතාවක් ඇති අයෙකු වේවා, තමන් කෙරෙහිත්, අන් අය කෙරෙහිත්, සියලු සත්වයන් කෙරෙහි වන මෛත්‍රිය කරුණාව ඔබේ මඟ පෙන්වන්නා කරගන්න. එකමුතුකම යනු අප සැම එක හා සමාන වීම නොවේ.

එකමුතුකම යනු අප අතර පවතින වෙනස්කම් මධ්‍යයේ වුවද අප සාමය තෝරා ගැනීමයි. අපට මෙය සුළු ආකාරයකින් හෝ කළ හැකි නම්, අප මෙහි ආරම්භ කළ දේ මෙතැනින් අවසන් නොවේවි. එය ඔබේ නිවසේ, ඔබේ ප්‍රජාව තුළ සහ ඔබේ හදවත් තුළ දිගටම පවතීවි.

එබැවින් මෙම සාම පා ගමන අප අවසන් කරන විට, මෙම පණිවිඩය හුදු මතකයක් ලෙස නොව, දෛනික පුහුණුවක් ලෙස ඉදිරියට කර ගෙන යන ලෙස මම ඔබට ආරාධනා කරනවා. මෙම ගමනේදී මා බොහෝ වරක් පැවසූ පරිදි, මෙම වැකිය ලියා තබාගෙන ශබ්ද නගා කියවීමෙන් ඔබේ දවස ආරම්භ කරන්න.

“අද දිනය මගේ සාමකාමී දිනයයි.”

ස්තූතියි! ඔබ සැමට යහපතක්ම වේවා, සතුට උදා වේවා, සාමය උදාවේවා!

නමෝ බුද්ධාය!

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments