T-56 ගිනිඅවි වලින් වෙඩි තබා පුද්ගලයන් පස්දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම් මාලාවකට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ ඇතුළු සැකකරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණයට අද (15) කරුණු වාර්තා කර ඇත.
පසුගිය 2008 වසරේදී සිදුවූ මෙම මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශන වලින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම පියවර ගෙන ඇත.
*2008 ජනවාරි (09) වනදා මඩකලපුව, කල්අඩි ප්‍රදේශයේ මුරුගන් කෝවිල අසල ක්‍රීඩා පිටියේදී හිටපු පොලිස් නිලධාරියෙකු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු T-56 ගිනිඅවියකින් වෙඩි තබා ඝාතනය කිරීම.
*2008 මැයි (22) වනදා කාත්තන්කුඩි පොලිස් වසමේ ප්‍රධාන වීදියේදී පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම.
*2008 අගෝස්තු (20) වනදා වව්නතිව් පොලිස් වසමේ කොත්තියාපොල, කන්නන්කුඩා ප්‍රදේශයේදී රාත්‍රී කාලයේදී අවිගත් පිරිසක් විසින් තවත් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම.
මෙම අපරාධයන්ට අදාළව සැකකරුවන් තිදෙනෙකු නම් කර ඇති අතර පළමු සැකකරු විමර්ශන ආරම්භ වන විටත් මෙරටින් පලාගොස් විදේශගතව සිටින බවට තොරතුරු අනාවරණය වී ඇත.
අනෙක් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන 2025 අගෝස්තු (13) සහ නොවැම්බර් (13) වන දිනවල සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කළ සැකකරුවන් දෙදෙනෙකි.
ඔවුන් දෙදෙනා අද (15) මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ අතර එම ඝාතන පහේම තුන්වන සැකකරු ලෙස ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් නම් කර ඇත.
මෙම නඩුව නැවත කැඳවන දිනකදී සැකකාර පිල්ලෙයාන්ව මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර ඇත.
