Advertisements
Advertisements

22ට එරෙහි පෙත්සම් විභාගය.. ෆුල් බෙන්ච් එකක් දෙන්න බෑ කියයි

LIVE

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශ්වයන් කළ ඉල්ලීම අගවිනිසුරුවරයා ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් අද (01) දින ප්‍රතික්ෂේප කළේය.

අදාළ පෙත්සම් අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන ප්‍රමුඛ අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගත්තේය.

පෙත්සම් විභාගය ආරම්භ කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් අධිකරණය හමුවේ සඳහන් කළේ,

“ස්වාමීනි.. මෙය කෙලින්ම අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් සිදුකරන පනත් කෙටුම්පත්. මේ හරහා අගවිනිසුරුවරයාගේ ධුර කාලය වසර දෙකකින් දීර්ඝ වෙනවා. සෙසු විනිසුරුවරුන්ගේත් විශ්‍රාම වයස දීර්ඝ වීමක් සිදුවෙනවා. ඒ නිසා ළබැඳියාවන් අතර ගැටුමක් මේ අවස්ථාවේදී උද්ගත වෙනවා. එම තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම පනත් කෙටුම්පතට අදාළ පෙත්සම් ශ්‍රෙෂ්ඨාධිකරණයේ සිටින සියලුම විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා.” 

තවත් පෙත්සම්කරුවන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස්, අලි සබ්‍රි, ජෙෆ්රි අලගරත්නම්, එරාජ් සිල්වා, ශ්‍රීනාත් පෙරේරා, අනුර මැද්දෙගොඩ, මෛත්‍රී ගුණරත්න ඇතුළු නීතිඥවරු විසින් මෙම ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දැක්වුවාය.

එහිදී රජය සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න කරුණු දක්වමින් සඳහන් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132 (3) වගන්තියට අනුව ඕනෑම නඩුකරයකට අදාළ විනිසුරු මඩුල්ලේ සංයුතිය සහ විනිසුරුවරුන් සංඛ්‍යාව තීරණය කිරීමේ නෛතික අභිමතය සතු වන්නේ අගවිනිසුරුවරයාට පමණක් බවයි.

එනිසා ඒ සඳහා මැදිහත් වීමට කිසිදු පාර්ශ්වයකට අයිතියක් නැති බවත් සුදුසු විනිසුරු මඩුල්ලක් නම් කිරීමේ පූර්ණ බලය අගවිනිසුරුවරයා සතු බවද අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් සඳහන් කළේය.

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලීම සඳහා විනාඩි 15කට කටයුතු අත්හිටවූ විනිසුරු මඩුල්ල යළි රැස්වෙමින්, පූර්ණ විනිසුරු මඩුල්ලක් පිළිබඳ ඉල්ලීම බැහැර කර දැනට නම් කර ඇති පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේම පෙත්සම් විභාගය ඉදිරියට ගෙන යන බව නිවේදනය කළේය.

අනතුරුව ආරම්භ වූ මූලික පෙත්සම් විභාගයේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් සඳහන් කළේ,

යෝජිත සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර් ගත ව්‍යවස්ථා කිහිපයක්ම උල්ලංඝනය වෙනවා. විශේෂයෙන් 03 වන ව්‍යවස්ථාව උල්ලංඝනය වෙනවා. මෙවැනි අවස්ථාවක අමාත්‍ය මණ්ඩලය මෙම පනත් කෙටුම්පත ජනමත විචාරණයක් සදහා යොමුකිරීමට තීරණය කළ යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 සහ 04 ව්‍යවස්ථා ජනතා පරමාධිපත්‍යය හා කෙලින්ම සම්බන්ධ වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 වන ව්‍යවස්ථාවට සිදු කරන සියලු වෙනස්කම් 03 වන ව්‍යවස්ථාවට බලපානවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 ව්‍යවස්ථාව තුළින් ජනතා පරමාධිපත්‍යය විධායකය, ව්‍යවස්ථාදායක සහ අධිකරණය හරහා ක්‍රියාත්මක වන බව දක්වා තිබෙනවා.

අනතුරුව පෙත්සමක් ඉදිරිපත් කර තිබූ මහාචාර්ය ජී.එල්. පීරිස් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ,

“විනිසුරුවරුන්ට නිදහසේ සිය රාජකාරි ඉටු කිරීමට පරිසරයක් තිබිය යුතුයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබු පමණින් එම නිදහසට බාධා සිදුවෙන්න බැහැ. අධිකරණ ඉදිරියේ මෙවැනි කරුණු දැක්වීමක් සිදු කිරීමට සිදුවීම ගැන මා කනගාටු වෙනවා. මෙවැනි කරුණු දැක්වීමක් සිදු කිරීමට සිදුව තිබෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහායි. ඔබතුමන්ලාගේ ගෞරවය ආරක්ෂා කිරීම වෙනුවෙන්.

පෙත්සම් විභාගය තවදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ක්‍රියාත්මක වේ.

0 Comments
Most Voted
Newest Oldest