Rebuilding Sri Lanka ජනාධිපති කාර්ය සාධක බලකාය රැස්වෙයි

දිට්වා ආපදා තත්වය තුළ කඩා වැටුණ ජන ජීවිත යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාවලියෙහි මෙතෙක් ප්‍රගතිය සහ මතුව ඇති ගැටලු විසඳා ගැනීමට ගත යුතු කඩිනම් පියවර සොයා බැලීම වෙනුවෙන් Rebuilding Sri Lanka ජනාධිපති කාර්යසාධක බලකාය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් විය.

දිට්වා ආපදා තත්වය තුළ කඩා වැටුණ ජන ජීවිත යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාවලියේදී තාක්ෂණ නිලධාරීන්ගේ හිඟයත්, එකවර දිස්ත්‍රික්ක ගණනාවක භුමි පරික්ෂාවන් සිදුකර වාර්තා ලබා දීමේදී ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට මුහුණ දීමට සිදු වන නිලධාරි හිඟයත් දැඩිව බලපා ඇති බවට මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර, ඊට යම් සහයක් වන පරිදි මේ වන විට තාක්ෂණික නිලධාරින් 125ක් බඳවාගෙන ඇති බවත් ඔවුන් ලබන සඳුදා සිට අදාළ ආයතන වෙත යොමු කරන බවත් සඳහන් කෙරිණි.

එමෙන්ම, දිට්වා ආපදාවෙන් විපතට පත් වූවන්ට වන්දි ගෙවීම්, පූර්ණ හානි වූ නිවාසවල පදිංචිකරුවන්ට නිවාස ලබා දීම හෝ නිවාස ආධාර ලබා දීම, දුම්රිය සහ මහාමාර්ග බෝක්කු, පාලම් ප්‍රතිසංස්කරණය මෙන්ම හානියට පත් පාසල් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සමාලෝචනය කෙරිණි.

අර්ධ හානි සඳහා වන්දි ගෙවීම් සැලකිය යුතු මට්ටමකින් අවසන් වෙමින් පවතින බවද පුර්ණ හානි වූවන්ට නිවාස ලබා දීමේ ක්‍රියාවලියේදී ඇතැම් දිස්ත්‍රික්කවල මතුව ඇති ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

ඇතැම් දිස්ත්‍රික්කවල නිවසක් ඉදිකර ගැනීම වෙනුවෙන් ලක්ෂ පනහක මූල්‍ය ආධාර ලබා දීම සහ නිවාස ඉදිකිරීම යම් ඉහළ මට්ටමක පැවතුණත් මාතලේ, පුත්තලම, කෑගල්ල, බදුල්ල, රත්නපුර වැනි දිස්ත්‍රික්ක කිහිපයක එම ක්‍රියාවලියේදී මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි.

එසේම මහා මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණ කිරීම් වේගවත් කිරිමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණු අතර, මහාමාර්ග, පාලම් ඉදිකිරිම් සඳහා චීනය හා ඉන්දියාව ආධාර ලබාදීමට එකඟතාව පළ කර ඇති බවත්, ඒ සඳහා ගිවිසුම් අත්සන් කිරිමට නියමිතව ඇති බවත් සඳහන් කෙරිණි.

රටෙන් තුනෙන් දෙකක් පමණ වන භූමි ප්‍රදේශයකට බලපෑ දිට්වා සුළි කුණාටුව නිසා හානි වූ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේදි එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක මාර්ග රැසක් එකවර සංවර්ධනය කිරීමට සිදුවීමත් ඒ සියල්ල වෙනත් සංවර්ධන කටයුතු සමගම ක්‍රියාත්මක වීමේ අභියෝගය සහ එහිදී මතුව ඇති ගැටළු විසඳා ගැනීමට ගත යුතු පියවර පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක් විය.

යුනිසෙෆ් ආයතනය විසින් ආපදාවට පත් ප්‍රදේශවල කරන ලද සමීක්ෂණයකට අනුව මේ වන විට එම ප්‍රදේශවල පාසල් යන වයසේ පසුවන සියලුම දරුවන් පාසල් යාම ආරම්භ කර ඇති බවද එය සාමාන්‍ය පරිදි සිදුවන බවට එම ආයතනය තොරතුරු වාර්තා කර ඇති බවද මෙහිදී අනාවරණය විය.

නිවාස ඉදිකිරිම් සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා තවදුරටත් රජයෙන් කළ යුතු මැදිහත් වීම් පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර දිස්ත්‍රික් ලේකම්වරුන් කැඳවා ඔවුන් මුහුණ පාන ගැටලු සාකච්ඡා කිරිම පිළිබඳවද අවධානය යොමු විය.

එසේම, තවදුරටත් අවශ්‍ය සොයා බැලීම් කිරීමේ වගකීම ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු වෙත මෙහිදී පැවරුණි. කාර්ය සාධක බලකාය නියෝජනය කරන සිවිල් සංවිධානවල නියෝජිතයන් සෘජුවම මහජනතාව සමග සම්බන්ධ වන බැවින් ඔවුන් වඩාත් සක්‍රීයව මෙම වැඩපිළිවෙළ සමග සම්බන්ධ කරගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්විය.

Advertisements
Advertisements
1 Comment
Most Voted
Newest Oldest