Advertisements

ගෝඨාට අසාද් මවුලානා එක්ක ගත්ත ෆොටෝ මතක නෑ කියයි

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ රිට් පෙත්සම (24) දින දෙවන දිනටත් අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායකගෙන් සමන්විත සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.

එහිදී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් කොමිසම, හිටපු මහාධිකරණ විනිසුරු ජයකී ද අල්විස් කොමිසම මෙන්ම අදාළ ප්‍රහාරය පිළිබඳව සොයා බැලූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ඉදිරිපත් කරනු ලැබ තිබෙන වාර්තාවල කිසිදු ස්ථානයක පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂගේ නම සඳහන් කර නොමැති බව ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරයට අදාළව රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් දෙනු ලැබ ඇති නඩු තීන්දුවේ ද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් එක් වචනයක් හෝ සඳහන් කර නොතිබූ බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

ස්විට්සර්ලන්තයට පලා ගොස් සිටින අසාද් මවුලානා නමැති පුද්ගලයෙකු බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට කළ ප්‍රකාශයක් පදනම් කරගෙන මෙම විමර්ශන සිදුවන බවත් එම පුද්ගලයාගේ ප්‍රකාශය මත පදනම්ව සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීම සිදු කළ නොහැක්කක් බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

මෙම පුද්ගලයා විසින් ලසන්ත වික්‍රමතුංග මරා දැමීම, මිනීමැරුම්, පැහැර ගෙන යාම් වැනි අපරාධ සියල්ල රාජපක්ෂවරුන් මත පැටවිමට ක්‍රියා කර ඇති අතර මෙවැනි පුද්ගලයෙකු ලබාදී ඇති ප්‍රකාශ මත පදනම්ව සිය සේවාදායකයා අත්අඩංගුවට ගන්නේ කෙසේ දැයි ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළේය.

අසාද් මවුලානා නැමැති පුද්ගලයා ලංකාවේ අධිකරණ පද්ධතිය විවේචනය කරමින් ප්‍රකාශ සිදුකර තිබෙන බවත් එවන් පුද්ගලයකුගේ ප්‍රකාශ මත පදනම්ව සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම පදනම් විරහිත අත්තනෝමතික ක්‍රියාවක් බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ සහ අසාද් මවුලානා එකට සිටින ඡායාරූපය ගත් ආකාරය සිය සේවාදායකයාට මතකයේ නොමැති බවත් දේශපාලනඥයන් හමුවීමට විවිධ පුද්ගලයන් නිරන්තරයෙන් පැමිණෙන බැවින්, එවැනි ඡායාරූපයක් පිළිබඳව මතකයක් නොතිබීම සාමාන්‍ය තත්ත්වයක් බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

පිල්ලෙයාන් සහ කරුණා යන පාර්ශව සමග සිය සේවාදායකයා දේශපාලන කටයුතුවල නිරත වූ බවත් එම ඡායාරූප දේශපාලන රැස්වීමකදී ගනු ලැබූ ඡායාරූප බවත් දේශපාලන කටයුතුවල නිරත වීමේදී මෙවැනි ඡායාරූප ලබා ගැනීම සාමාන්‍ය දෙයක් බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

මේ ක්‍රියාව තුළින් පෙත්සම්කරු පාස්කු ප්‍රහාර සිද්ධියට සම්බන්ධ බවට සැක කළ නොහැකි බවත් නීතිපති දෙපාර්තමේන්තුව මෙම ඡායාරූප ඉදිරිපත් කළේ, මුළුමනින්ම ද්වේෂසහගතව මෙන්ම වංක චේතනාවකින් බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest