Advertisements

පවුලක බලය රැකගන්න අපරාධ කළ හමුදා බුද්ධි කණ්ඩායම් ගැන ජනපති කියයි

කිසියම් පවුලක හෝ දේශපාලන කඳවුරක බලය වෙනුවෙන් අපරාධ සිදුකළ බුද්ධි අංශ හා හමුදාවල කුඩා කණ්ඩායම් වෙත නිසි දඬුවම් ලබාදීමට රජය කිසිසේත්ම පැකිලෙන්නේ නැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ වර්ධනය වීම පිටුපස දේශපාලන අධිකාරිය, රාජ්‍ය ආයතන, දූෂිත නිලධාරීන් සහ කුඩු ව්‍යාපාරිකයන් එකිනෙකා යා කෙරුණු බරපතළ සබඳතා ජාලයක් පවතින බවත් එම සමස්ත ජාලයම මුළුමනින්ම මැඩපැවැත්වීමට රජය ස්ථාවර තීරණයක් ගෙන ඇති බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, නීතිපති දෙපාර්තමේන්තුවේ දිලිප් පීරිස් මෙන්ම වත්මන් අධිකරණ පද්ධතිය අද වන විට විපක්ෂයේ ද්වේෂයට සහ සතුරුකමට ලක්ව ඇත්තේ රට තුළ යුක්තිය සහ ශිෂ්ටභාවය ඇති කිරීමට ඔවුන් උපරිමයෙන් ක්‍රියා කරන නිසා බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

මෙරට අතීත උරුමය අශිෂ්ට රාජ්‍යයක්ව පැවති බවත් ජනාධිපතිවරයා සහ ජනාධිපති ලේකම්වරයාගේ සිට පහළම දේශපාලන නායකයන් හා රාජ්‍ය නිලධාරීන් දක්වා සැම දෙනාම ශිෂ්ටසම්පන්න රාජ්‍යයක කොටස්කරුවන් බවට පරිවර්තනය විය යුතු බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම පිළිබඳව අද (25) දින පාර්ලිමේන්තුවේ පැවැති කල්තැබීමේ විවාදයට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

අපේ හමුදාවත්, අපේ බුද්ධි අංශයත් පිළිබඳ ගෞරවය, ඇගයීම හෘදයාංගමභාවය අප තුළ තිබෙනවා. හැබැයි අපේ හමුදාවන්, අපේ බුද්ධි අංශ විසින් රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කරන ලද කැපකිරීම්වලට, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් යම් කාර්යභාරයක් කරන විට කොතැනක හෝ ඔවුන් පීඩාවට පත් වෙනවා නම්, අපි ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා.

දේශීයවත්, ජාත්‍යන්තරවත් රාජ්‍යයේ පැවැත්ම වෙනුවෙන් රටේ සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් හමුදාවන් සහ බුද්ධි අංශ ක්‍රියාත්මක කර තිබෙනවා නම්, ඔවුන් ඕනෑම තැනක ආරක්ෂා කිරීමටත්, ගෞරව කිරීමටත් බැඳී සිටිනවා. අපි ඒ කාර්යය ඉටු කරනවා.

හැබැයි, ඒ හමුදාවේ, බුද්ධි අංශයේ ඉතා කුඩා කණ්ඩායම් රාජ්‍ය වුවමනාවකට යම් පවුලක බලය වෙනුවෙන්, යම් දේශපාලන කඳවුරක බලය වෙනුවෙන් කටයුතු කර තිබෙනවා නම් ඒ සඳහාත් නිසි දඬුවම් ලබා දීමට අපේ ආණ්ඩුව පැකිළෙන්නේ නැති බව මම කියන්න කැමතියි.”

Advertisements
Advertisements
1 Comment
Most Voted
Newest Oldest