අත්අඩංගුවට ගත් නීතිඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ අරුණ වරුණහැන්දි යන සැකකරුවන් තිදෙනා ජූලි (03) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය (25) නියෝග කළේය.
අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මෙම නියෝගය කළේය.
මෙම ඩුබායි සංචාරය සඳහා සැකකාර නිතීඥ රඛිත රාජපක්ෂගේ පියා වන හිටපු අධිකරණ ඇමතිවරයාත් සහභාගී වී ඇති බවට තොරතුරු ලැබී තිබෙන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් අනූෂා සම්බන්ධප්පෙරුම සඳහන් කළාය.
එහිදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් අනූෂා සම්බන්ධප්පෙරුම කරුණු දක්වමින් සඳහන් කළේ,
“ස්වාමීනී.. අල්ලස් කොමිසමට ලැබුණු නිර්නාමික පැමිණිල්ල අනුව මෙම විමර්ශනය ආරම්භ කළා. මෙම විමර්ශනයේදී දුරකතන සංවාද පටයක් හමුවෙනවා. ඒ දුරකතන සංවාදය සිදුවන්නේ මෙහි පළමු සැකකරු වශයෙන් නම් කර තිබෙන චරිත් අබේසිංහ සහ අත්අඩංගුවේ පසුවන හරක් කටා නමැත්තාගේ හිතවතෙකු බව කියන හර්බි නමැත්තෙකු අතර.
එහිදී සැකකාර චරිත් අබේසිංහ ප්‍රකාශ කරනවා, මාකඳුරේ මධුෂ්ට වෙච්ච දේ සිදුවෙන්න පුළුවන්. ඒ නිසා හරක් කටාගේ ඩී.ඕ. ඉවත් කරලා බූස්ස බන්ධනාගාරයට නොයවා ඔහුගේ ජීවිත ආරක්ෂාව සලසා දීමට සුදුසු බන්ධනාගාරයකට යැවිය හැකි බවට.
ඒ සඳහා අවශ්‍ය සහන ලබා දිය හැකි බවත් මේ සැකකරු ප්‍රකාශ කරනවා. මේ හර්බි නමැත්තා වාසය කරන්නේ ඩුබායි රාජ්‍යයේ. පසුව ඔහු මේ කාරණය පිළිබඳව ඩුබායි රාජ්‍යයේ සිටින හරක් කටාගේ බිරිඳ වන මදුශානිට දැනුම් දෙනවා.”
“පසුව 2023 වසරේ මාර්තු මස (25) වනදා රඛිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් ඩුබායි රාජ්‍යයට පිටත් වෙනවා. ඩුබායි රාජ්‍යයදී හර්බි නමැත්තාගේ නිවසේදී මෙම සැකකරුවන් හරක් කටාගේ බිරිඳව මුණගැසෙනවා. එම අවස්ථාවට මිදිගම රුවන් නමැති පුද්ගලයාත් සහභාගී වෙනවා.”
“එහිදී කලින් දැනුම් දන් පරිදි හරක් කටා නමැති පුද්ගලයාගේ ඩී.ඕ. ඉවත් කර ඔහුට අවශ්‍ය ආරක්ෂාව සලසා දීම සඳහා මෙම සැකකරුවන් රුපියල් කෝටි පනහක මුදලක් ඉල්ලා සිටිනවා. පසුව එම මුදල රුපියල් කෝටි 30 දක්වා අඩු කරනවා.
එහිදී හරක් කටාගේ බිරිඳ ප්‍රකාශ කරනවා තමන්ට ඒ තරම් මුදලක් ලබා දිය නොහැකි බවට. ඒ අනුව එම මුදල කෝටි 20 දක්වා අඩු කරනවා. ඉන් අනතුරුව එම මුදලින් රුපියල් කෝටි දොළහක මුදලක් අත්තිකාරම් වශයෙන් මේ සැකකරුවන් ඉල්ලා සිටිනවා.
එම මුදල ලබාදෙන්න හරක් කටාගේ බිරිඳ එකඟ වෙනවා. ඒ අනුව එක් අවස්ථාවකදී රුපියල් කෝටි දහයක් සහ පසු දා තවත් කෝටි දෙකක මුදලක් හරක් කටගේ බිරිඳ විසින් ලබා දීම සිදුකරනවා. මේ මුදල් ලබාදී තිබෙන්නේ ඩිරාම්වලින්.”
“මෙම කරුණ මේ වන විට අත්අඩංගුවේ පසුවට මිදිගම රුවන් නමැති පුද්ගලයා ලබා දුන් ප්‍රකාශයෙන් ද තහවුරු කර තිබෙනවා. ඊට අදාළව ඔහුගේ දිවුරුම් ප්‍රකාශයක් ද අප ළඟදී ම අධිකරණයට ඉදිරිපත් කරනවා.
ඒ වගේ ම හර්බි හෙවත් නිර්මල බණ්ඩාර නමැති පුද්ගලයාත් මේ කාරණය තහවුරු කරමින් ප්‍රකාශ ලබා දී තිබෙනවා. මෙම ඩුබායි සංචාරය සඳහා සැකකාර රඛිත රාජපක්ෂගේ පියා වන හිටපු අධිකරණ ඇමතිවරයාත් සහභාගී වී ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ පිළිබඳවත් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.”
