මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වී සිටින, මේ වනවිට රටින් පළාගොස් සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට සඳහා නඩු දෙකකට අදාළව මේ වනවිට වරෙන්තු දෙකක් නිකුත් කර තිබෙනවා.
1.අයථා අන්දමින් උපයන ලද මුදලින් මාතර බ්රවුන්ස්හිල්හි අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීම.
අයථා අන්දමින් උපයන ලද මුදලින් මාතර බ්රවුන්ස්හිල්හි අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීමට අදාළව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වේ.
මෙම නඩුවට අදාළව බැසිල් රාජපක්ෂ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් පසුගිය මස (18) වනදා ඇප මුදල් රාජසන්තක කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
2.සංචාරක ප්‍රවර්ධන කාර්යංශයට අයත් රුපියල් මිලියන 7.8ක මුදලක් අයථා පරිහරණය.
සංචාරක ප්‍රවර්ධන කාර්යංශයට අයත් රුපියල් මිලියන 7.8ක මුදලක් යොදා ඌව පළාත් සභා මැතිවරණයට ප්රචාරක කටයුතු කිරීම සම්බන්ධ චෝදනාවකට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව විභාග වේ.
රුපියල් මිලියන 7.8ක මුදලක් යොදා ඌව පළාත් සභා මැතිවරණ සමයේ ටී ෂර්ට් 12,000ක් බෙදාහැරීම යන චෝදනාව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එල්ල වී ඇත.
කොටුව මහේස්ත්‍රාත්වරයා පසුගිය නඩු වාරයේදී, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
ඒ අනුව රටින් පළාගොස් සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා නිල් නිවේදන නිකුත් කර ඇති අතර ඒ අනුව ජාත්‍යන්තර පොලීසිය ඊට අදාළව කරුණු කිහිපයක් මෙරටින් ඉල්ලා ඇත.
එම කරුණු වලට අදාළ ලේඛන ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.
