ඉන්ධන මිල ගැන සංස්ථාවෙන් ප්‍රකාශයක්

LIVE

ඉන්ධන මිල සම්බන්ධයෙන් සහනාධාරයක් ලබාදීම හෝ මිල සංශෝධනයක් සිදුකිරීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා කරමින් පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා සඳහන් කරයි.

පසුගිය දිනවල අනෙකුත් ඉන්ධන සමාගම් විසින් ඉන්ධන නිකුත් කිරීම අඩු කිරීම හේතුවෙන් ඇතැම් පිරවුම්හල්වල ඉන්ධන හිඟයක් දක්නට ලැබුණු බවත් මේ සම්බන්ධව පසුගිය සතියේ සියලුම ඉන්ධන සමාගම් කැඳවා සාකච්ඡාවක් පැවැත්වූ බවද සභාපති ඩී. ජේ. රාජකරුණා සඳහන් කරයි.

එහිදී එම සමාගම් තමන්ට සිදුවන පාඩු පිළිබඳව රජයට දැනුම් දී ඇති අතර RM Parks සමාගම ඩීසල් ලීටරයකින් රුපියල් 173ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 38.75ක පාඩුවක්, Sinopec සමාගම ඩීසල් ලීටරයකින් රුපියල් 192ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 67ක පාඩුවක් පෙන්වා දී ඇත.

IOC සමාගම ඩීසල් ලීටරයකින් රුපියල් 136ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 57ක පාඩුවක් සිදුවන බව පෙන්වා දී ඇති අතර රජයට ජාතික වගකීමක් පැවරී තිබුණද, අනෙකුත් සමාගම් ව්‍යාපාරික අරමුණින් කටයුතු කරන බැවින් පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට ඔවුන්ට හැකියාවක් නොමැති බවද සභාපතිවරයා සඳහන් කරයි.

එම ඉන්ධන සමාගම් සමඟ අත්සන් කර ඇති ගිවිසුම් අනුව, නියමිත මිලට ඉන්ධන අලෙවි කිරීමේදී පාඩුවක් සිදුවන්නේ නම්, එම පාඩුව රජය විසින් පියවිය යුතු බවට ප්‍රතිපාදන පවතින බවත් එම සමාගම් වලට පාඩුවක් නොවන පරිදි ඔවුන්ට ඉන්ධන අලෙවි කිරීමට ඉඩ ලබාදීම හෝ රජය මැදිහත්වී සහනාධාරයක් ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා සිදුවන බවද සභාපතිවරයා සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest