පාස්කු තීන්දුව.. අවසන් මොහොතේ විත්තිකරුවන් හස්ත මුද්‍රාවෙන් පෙන්නුවේ මොකක්ද.?

LIVE

පසුගිය 2019 වසරේ පාස්කු ඉරුදින කොළඹ හා තවත් ප්‍රදේශ කිහිපයක පිහිටි කිතුනු දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ප්‍රහාර එල්ල කළේය.

ඒ අනුව එම ප්‍රහාර සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබලදීම ඇතුළු චෝදනා වලට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් 15 දෙනෙකුට වසර 200 සිට වසර 260 දක්වා සිර දඬුවම් නියම කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල (22) වනදා තීන්දු කළේය.

පුරා වසර 6කට ආසන්න කාලයක් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඒකමතිකව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව, පාස්කු ප්‍රහාරය එල්ල කිරීම සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමග කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනාවලට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් 15 දෙනෙකුට බරපතළ වැඩ සහිත වසර 200 සිට 260 දක්වා වූ සිර දඬුවම් නියම කෙරිණි.

දඬුවම් නියම කිරීමට පෙර නීතිඥවරුන් නොමැතිව හයවන විත්තිකාර මොහොමඩ් රිස්කාන් අධිකරණය හමුවේ සඳහන් කළේ,

මම මේ මුළු නඩුවේදීම නිහඩව සිටියේ. සියල්ල නිහඩව බලාගෙන සිටියා. එහෙම ඉඳලා අද වැරදිකරුවෙක් වෙලත් බොහෝම සතුටින් ඉන්නේ. නමුත් මම දන්නවා ඔබතුමන්ලා විශාල පීඩනයකින් ඉන්නේ. යම් වරදක් වුණා, යම් කෙනෙක් ඒක කළා. නමුත් මේ වගේ දෙයක් අපි සැලසුම් කළේ නැහැ.

හැබැයි ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ වගේ මේකට සම්බන්ධ යම් පිරිසක් ඉන්නවා. අපි මේකට වැරදිකාරයෝ වෙලත් සතුටින් ඉද්දි, මේකට සම්බන්ධ යම් පිරිසකගේ ඔළුව ගිනි අරන් සෑහෙන දුකකින් ඇත්තේ. අපි CID එකේ ඉද්දි ඇහුණ යම්යම් දේවල් තියෙනවා.

මේකට අදාළ කට්ටිය ඉන්නවානම් අනිවාර්යයෙන් දඬුවම් ලැබිය යුතුයි. අල්ලා දෙවියන්ගේ නාමයෙන් අපි වරදක් කරලා නැහැ. නමුත්. නැහැ එක්කෝ ඕනේ නැහැ.”

එහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර කරුණු දක්වමින් සඳහන් කළේ,

ස්වාමිනි., විත්තිකරුවන්ට එරෙහිව පවත්නා නෛතික ප්‍රතිපාදන ප්‍රකාරව ඔවුන්ට ලිහිල් හෝ අත්හිටවූ සිරදඬුවම් ලබාදෙන්න හැකියාවක් නැහැ. මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාරකයින් වූ සහරාන්, ඉන්ෂාෆ් වැනි අය කිව්වේ මොකක්ද.? ශ්‍රී ලංකාව ඉස්ලාම් රාජ්‍යයක් කරන්න අන්‍යාගමිකයින් මරාදමන්න කියලා. ඒ මහා අපරාධයට කුමන්ත්‍රණය සහ ආධාර අනුබලදුන් මේ විත්තිකරුවන් තවමත් ඒ මතයේම එළඹ සිටිනවා.

මොවුන් කිසිවෙක් මේ මොහොතේත් පශ්චත්තාපවීමක් හෝ කනගාටුවක් පළ කරන්නේ නැහැ. මෙවැනි විත්තිකරුවන් හැකිතාක් සමාජයෙන් දුරස්කර තැබිය යුතුයි. මෙවැනි අන්තවාදී අදහස් දරන්නන්ට වැදගත් පණිවුඩයක් ලබාදෙමින් මේ විත්තිකරුවන්ට දියහැකි උපරිම දඬුවම් ලබාදෙන්නැයි මා ඉල්ලා සිටිනවා.”

අනතුරුව රාත්‍රී 11.00ට පමණ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ට දඬුවම් නියම කිරීමේ නියෝගය ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව විත්තිකරුවන් 5 දෙනෙකුට වසර 200 බැගින්ද, විත්තිකරුවන් 5 දෙනෙකුට වසර 220 බැගින්ද, විත්තිකරුවන් 4 දෙනෙකුට වසර 240ක් සහ එක් විත්තිකරුවෙකුට වසර 260 බැගින්ද බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

තවද, එම වරදකරුවන් වූ විත්තිකරුවන් 15 දෙනාගේම නිශ්චල සහ චංචල දේපළ සියල්ල නඩු තීන්දුව නිකුත් කළ මොහොතේ පටන් රාජසන්තක කරන බවද ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය.

අනතුරුව බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම වූ විත්තිකරුවන් 15 දෙනා (23) දින අලුයම 2.30ට පමණ බන්ධනාගාර නිලධාරීන් විසින් වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ගියේය.

එම විත්තිකරුවන් අධිකරණ පරිශ්‍රයෙන් පිටතට පැමිණෙන මොහොතේ සිනාමුසු මුහුණින් පැමිණෙන ආකාරයත් නිරීක්ෂණය වු අතර ඇතැම් විත්තිකරුවන් ඇගිල්ලක් ඔසවමින් යම් හස්ත මුද්‍රාවක් පෙන්නුම් කරන ආකාරයක් නිරීක්ෂණය විය.

ඒ ආකාරයට අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායමක් වන ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් හෂීම් මේ ආකාරයටම ඇගිල්ලක් ඔසවමින් යම් හස්ත මුද්‍රාවක් පෙන්නුම් කළේය.

2 Comments
Most Voted
Newest Oldest