මෙරට මුහුදු සීමාව ආසන්නයේ නවතා ඇති ඉරාන නෞකා සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පැහැදිලි කිරීමක් සිදු කරයි.
ශ්‍රී ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ නෞකා 47ක් පමණ නවතා ඇති බවත් ඒවා මෑතකදී පැමිණි නෞකා නොවන බවත් දීර්ඝ කාලයක සිට අදාළ ජාත්‍යන්තර මුහුදු සීමාවේ පවතින නෞකා බව අමාත්‍යවරයා සඳහන් කරයි.
එම නෞකා අතුරින් 19ක් ඉරාන නෞකා වන නමුත්, ඒවා නවතා ඇත්තේ ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව තුළ නොවන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
එම නෞකා වලට ආහාර හෝ ජලය සැපයීම වළක්වන ලෙස අමෙරිකාව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බවට පැතිර යන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවත් ශ්‍රී ලංකා රජයට එවැනි කිසිදු බලපෑමක්, මැදිහත්වීමක් හෝ දැනුම්දීමක් සිදුකර නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
අමෙරිකාව විසින් සම්බාධක පනවා ඇති නෞකා වලට භාණ්ඩ ප්‍රවාහනය කිරීම හෝ සැපයුම් ලබාදීම ශ්‍රී ලංකා රජය විසින් සිදුකර නොමැති බවත් ශ්‍රී ලංකාව සෑම විටම කටයුතු කරන්නේ ජාත්‍යන්තර සාගර නීතියට අනුකූලව බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
හෝමූස් සමුද්‍ර සන්ධියේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් නාවික ගමනාගමනය සංකීර්ණ වී ඇති බවත් ශ්‍රී ලංකාවට අමතරව මැලේසියාව සහ ඉන්දුනීසියාව වැනි රටවල් ආසන්නයේ ඇති ජාත්‍යන්තර මුහුදු සීමාවන්හිද මෙලෙස නෞකා නවතා තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කරයි.
ශ්‍රී ලංකාව පිහිටා ඇති භූ දේශපාලනික වැදගත්කම හේතුවෙන් ලෝකයේ විවිධ රට වලට අයත් නෞකා විශාල සංඛ්‍යාවක් දිනපතා දිවයින ආසන්නයෙන් ගමන් කරන බැවින්, ශ්‍රී ලංකාව අවශ්‍ය ඕනෑම අවස්ථාවක එම නෞකා වලට සහයෝගය සහ මගපෙන්වීම ලබාදීමට බැඳී සිටින බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
ශ්‍රී ලංකා රජය තීන්දු තීරණ ගනු ලබන්නේ රටේ ස්වෛරීභාවය සහ අනන්‍යතාව සුරකිමින් බවත් ඕනෑම මානුෂීය අවශ්‍යතාවකදී සුදුසු පරිදි මැදිහත්වීමට රජය සූදානම් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
අමාත්‍ය විජිත හේරත් තවදුරටත් සඳහන් කළේ,
“කිසිදු ආකාරයකින් අමෙරිකාව ශ්‍රී ලංකා අපේ ආණ්ඩුවට එහෙම දැනුම්දීමක්, මැදිගත්වීමක් හෝ බලෑමක් කරලා නෑ. ඒ නිසා එහෙම එකක් නෑ. එලෙස තියෙනවා නම් සම්පූර්ණයෙන් වැරදි අදහසක්. එහෙම කිසිඳු බලපෑමක් ඇතිවෙලාත් නෑ. කිසිඳු බලපෑමකට ලංකාව යටවෙන්නෙත් නෑ. අපේ ස්වෛරීත්වය, අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් තමයි අපි සියලුම තීන්දු තීරණ ගන්නේ. කෙසේ නමුත් මානුෂීය හේතූන් මත අපේ අවශ්‍යතාවක් ඇති වුණොත් ඒ අවශ්‍ය කරන මැදිහත් වීම අපි කරනවා.”
