ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික් අවි ආයුධ ජාවාරමේ.. තොරතුරු හෙළිවෙයි

අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික් නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව නීතිවිරෝධී අවි ආයුධ ජාවාරම්වල නිරත වී ඇති බවට විමර්ශන අංශ වෙත විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බව අධිකරණයේදී අනාවරණය විය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම මහේන් ගොපල්ලව සහ ඒ. ප්‍රේම්ශංකර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ (19) දින සලකා බැලීම සිදුවිය.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ඥානරාජ් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැණි බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා සඳහන් කළේ, මෙම සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව නීතිවිරෝධී අවි ආයුධ ජාවාරම්වල නිරත වී ඇති බවට විමර්ශන අංශ වෙත විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බවයි.

අන්තවාදී සංවිධාන සමඟ මොහු සම්බන්ධ වී කටයුතු කර ඇද්ද යන්න පිළිබඳවද වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බැවින්, ඉදිරිපත් වූ සාධාරණ කරුණු මත පදනම්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම රඳවා තබාගැනීම සිදුකර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේය.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉල්ලා සිටියේ, සැකකරුට නිවසින් එළවළු ආහාර ගෙන්වා ගැනීමට අවසර ලබා දෙන ලෙසත් නීතිඥවරුන් හමුවීම සඳහා දැනට ලබාදී ඇති කාලයට වඩා වැඩි අවස්ථාවක් ලබා දෙන ලෙසයි.

ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ, නිවසින් ආහාර ගෙන්වා ගැනීමට අවසර දෙන ලෙස කරන ඉල්ලීම ගැටලුකාරී බවත් මෙම සැකකරුගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන එවැනි සීමා පැනවීමට පොලිසිය ක්‍රියා කර තිබෙන බවයි.

අනතුරුව එම ඉල්ලීම් ඉටු කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලා දිනයකදී අධිකරණයට කරුණු දක්වන ලෙස විනිසුරු මඩුල්ල විසින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාට නියෝග කළේය.

0 Comments
Most Voted
Newest Oldest