ශ්‍රී ලාංකික කාන්තාවක් උඩුගුවනේදී දරුවෙක් ප්‍රසූත කරයි

අද (19) දින කටුනායක ගුවන් තොටුපොළ බලා පැමිණෙමින් තිබූ ගුවන් යානයක් තුළදී ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් පිරිමි දරුවෙකු ප්‍රසූත කර ඇත.

එම කාන්තාව අද (19) අලුයම 2.52ට කුවේට් ගුවන් තොටුපොළේ සිට J9-551 දරන ගුවන් යානයෙන් කටුනායක බලා පැමිණෙමින් සිටියදී මෙම දරු ප්‍රසූතිය සිදුව ඇත.

ගුවන් යානය තුළදී ගුවන් සේවිකාවන්ගේ සහාය ඇතිව දරු ප්‍රසූතිය සිදුකර ඇති අතර එය කිසිදු සංකූලතාවකින් තොරව සිදුව ඇත.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි කාන්තාවක් එලෙස දරුවෙකු ප්‍රසූත කර ඇති අතර ඇය 2024 වසරේදී ගෘහ සේවය සඳහා කුවේට් රාජ්‍යයට ගොස් ඇති බව වාර්තා වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් නියමුවා කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව, ගුවන් යානය ගොඩබැස්වීමට පෙරම ගිලන් රථයක්, වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලයක් සූදානම් කර තැබීමට පියවර ගෙන ඇත.

දරු ප්‍රසූතියෙන් පසු මව සහ බිළිඳා වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා මීගමුව මහ රෝහල වෙත යොමු කර ඇති අතර ඔවුන් දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවට තොරතුරු වාර්තා වේ.

ගුවන් ගමනට සහභාගී වීමේදී ගර්භණීභාවය සම්බන්ධයෙන් අදාළ ගුවන් සේවයේ නියමයන් සහ වෛද්‍ය උපදෙස් සැලකිල්ලට ගත යුතු පසුබිමක, අදාළ කාන්තාව සිය ගර්භණීභාවය ගුවන් සේවා නිලධාරීන්ගෙන් සඟවාගෙන සිටි බවට තොරතුරු වාර්තා වේ.

0 Comments
Most Voted
Newest Oldest