රටේ පුරවැසියන්ට පදනම් විරහිතව නඩු පැවරීම් නොකරන ලෙසට සමස්ත පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් චක්රලේඛයක් නිකුත් කිරීම සඳහා පොලිස්පතිවරයා වෙත යළි නියෝගයක් නිකුත් කරන ලෙස පොලිස් නීති කොට්ඨාසය කළ ඉල්ලීම ගම්පහ මහේස්ත්රාත් බන්ධුල ගුණරත්න (22) දින ප්රතික්ෂේප කර ඇත.
අධිකරණ නියෝග ක්රියාත්මක නොකර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට එරෙහිව නඩු පවරන ලෙස නියම කිරීමට අදාළ නඩු ගොනුවේ සම්පුර්ණ පිටපතක් පොලිස් නීතී කොට්ඨාසයට නිකුත් කිරීමට මහේස්ත්රාත්වරයා අධිකරණ රෙජිස්ට්රාර්වරියට නියම කළේය.
විනිශ්චයකාරවරයෙකු විසින් එක්වරක් ප්රකාශයට පත් කළ නියෝගයක් නැවත වෙනස් කිරීමට එම විනිශ්චයකාරවරයාටම කිසිදු නීතිමය හැකියාවක් නොමැති බව අවධාරණය කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා මෙම තීරණය ගෙන ඇත.
පොලිස් නීති කොට්ඨාසය විසින් අධිකරණය හමුවේ කරුණු දැක්වීම සඳහා ඉදිරිපත් කරන ලද මෝසමකට අනුව මෙම නඩුව (22) දින කැඳවනු ලැබුවේය.
පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි පොලිස් නීති කොට්ඨාසයේ අධ්යක්ෂ පොලිස් අධිකාරී නිලුපුල් සෝමසිංහ, ප්රධාන පොලිස් පරීක්ෂක ප්රණීත ජයවර්ධන සහ පොලිස් පරීක්ෂක කෞෂික පෙරේරා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
