විදෙස් මුහුදු සීමාවලදී අත්අඩංගුවට ගත් ධීවරයින් 753ක් නිදහස්

වෙනත් රටවල අනන්‍ය ආර්ථික කලාපයන්ට ඇතුළු වීම නිසා 2020 වර්ෂයේ සිට 2026.10.23 දක්වා ධීවර යාත්‍රා 145ක් සමග මෙරට ධීවර කාර්මිකයින් 795 දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බවත් ඉන් ධීවර යාත්‍රා 66ක් සමග ධීවර කාර්මිකයින් 753 දෙනෙකු මේවන විට නිදහස් වී ඇති බවත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ලද ප්‍රශ්න වලට ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යවරයා වෙනුවෙන් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් පාර්ලිමේන්තුවේදී ලබා දුන් පිළිතුරේ ඉහත කරුණු සඳහන් විය.

2024 වර්ෂයේ සංඛ්‍යාලේඛන දත්තවලට අනුව, සම්පූර්ණ යාත්‍රා 49,271 ක් සක්‍රීයව ධීවර කර්මාන්තයේ යෙදී සිටින බව සඳහන් කළ අමාත්‍යවරයා එයට ලියාපදිංචි බහුදින යාත්‍රා සංඛ්‍යාව 4,869ක්, එක්දින යාත්‍රා (IDAY) 880ක්, පිටත එන්ජින් සහිත යාත්‍රා (OFRP) 24,823ක්, එන්ජින් සහිත සාම්ප්‍රදායික යාන්ත්‍රික යාත්‍රා (MTRB) 2,709 ක්ද, එන්ජින් රහිත සාම්ප්‍රදායික සාම්ප්‍රදායික යාත්‍රා (NTRB) 15,037 ක්ද, යාන්ත්‍රික නොවන මාදැල් යාත්‍රා (NBSB) 953ක් ද අයත්වන බව සඳහන් කරයි.

මේ අතරින් බහුදින යාත්‍රා 4,869ක් ජාත්‍යන්තර මුහුදේ රැකියාව කිරීම සඳහා නීත්‍යානුකූල බලපත්‍ර ලබා ඇති බවද, සමහරවිට අහිතකර කාලගුණ තත්ත්වයන් සහ අධික සුළං තත්ත්වයන්හිදී හෝ කාර්මික දෝෂ හේතු නිසා හෝ ධීවර යාත්‍රා වෙනත් රටවල අනන්‍ය ආර්ථික කලාපයන්ට ඇතුළු වන අවස්ථා ඇති බවද ඇතැම් යාත්‍රා නියමුවන් විසින් හිතාමතාම වෙනත් රටවල මුහුදු සීමාවන්ට ඇතුළුව එම මුහුදු සීමාවන්හි මත්ස්‍ය සම්පත් නෙළා ගන්නා අවස්ථාවන් වාර්තා වෙන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

විදේශයන්හි අත්අඩංගුවට පත් වන ධීවරයින් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බව නිරීක්‍ෂණය වෙන බවත්, 2026 වර්ෂයේදී යාත්‍රා සංඛ්‍යාව 7ක් සමග ධීවරයින් 40 දෙනෙකු පණක් මේ වන විට අත්අඩංගුවට පත්වී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

විදේශ රටවල අත්අඩංගුවට පත් ධීවරයින් සහ ධීවරයාත්‍රා සම්බන්ධයෙන් එම රටවල පිහිටුවා තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාල සෘජුවම කටයුතු කරන බවත් ඒ අනුව, අත්අඩංගුවට පත් ධීවර යාත්‍රා සහ ධීවරයින් සම්බන්ධයෙන් අවශ්‍ය සියලුම නීතිමය හා රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම එම තානාපති කාර්යාල මගින් සිදු කරනු ලබන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

එමෙන්ම ආපදාවන්ට ලක්වන යාත්‍රා සම්බන්ධයෙන් සහ අනෙකුත් යාත්‍රා සම්බන්ධයෙන් අවශ්‍ය තාක්‍ෂණික වාර්තා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් සපයන බවත්නී, ඇතැම් අවස්ථාවලදී මෙම ධීවරයින් ගෙන්වා ගැනීමට අවශ්‍ය ගුවන් ටිකට්පත් පවා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel