2026 වසරේ මුල් මාස 10 තුළ ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා යන දෙඅංශයේ සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 15.28ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සඳහන් කරයි.
එය පසුගිය 2025 වසරේ මුල් මාස 10ක කාලසීමාවේදී වාර්තා වූ අමෙරිකානු ඩොලර් බිලියන 14.41ක ආදායමට සාපේක්ෂව මෙය 6.03%ක වර්ධනයක් බව එහි සභාපති, ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ සඳහන් කරයි.
ශ්‍රී ලංකා රේගුවේ නවතම අපනයන කාර්යසාධන දත්ත සහ මැණික් හා ස්වර්ණාභරණ මෙන්ම ඛනිජ තෙල් නිෂ්පාදන අපනයනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) ඉදිරිපත් කළ ඇස්තමේන්තු වලට අනුව මෙම වර්ධනය වාර්තා වී ඇත.
අපනයන පුළුල්කිරීම, නව වෙළෙඳපොළ ප්‍රවේශය, භාණ්ඩ හා සේවා විවිධාංගීකරණය සහ ඉහළ වටිනාකමකින් යුත් නැගීඑන අපනයන ක්ෂේත්‍ර දිරිගැන්වීම මෙම සාර්ථකත්වයට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.
මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකා අපනයනවල ප්‍රධානතම ගැනුම්කරුවන් ලෙස අමෙරිකාව, ඉන්දියාව, මහා බ්‍රිතාන්‍යය, ඉතාලිය සහ ජර්මනිය කැපී පෙනෙන අතර ඉන් වැඩිම ආදායමක් උපයා ඇත්තේ අමෙරිකාවට සිදුකළ අපනයන වලින් වන අතර එම අගය අමෙරිකානු ඩොලර් මිලියන 2,518.31කි.
ඉන්දියාවෙන් (අ.ඩො.මි. 989.66) වාර්තා වී ඇති අතර මහා බ්‍රිතාන්‍යයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 723.40ක ආදායමක් උපයා ඇති අතර ඉතාලියෙන් අමෙරිකානු ඩොලර් මිලියන 573.18ක් සහ ජර්මනියෙන් අමෙරිකානු ඩොලර් මිලියන 565.95ක ආදායමක් උපයා ඇත.
අපනයන ක්ෂේත්‍ර අතරින් ඉහළම ආදායමක් උපයා ඇත්තේ ඇඟළුම් ක්ෂේත්රය වන අතර එමගින් උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 4,196.56කි.
ප්‍රවාහන හා සැපයුම් සේවා අංශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1,731.43ක ආදායමක් උපයා ඇති අතර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (ICT/BPM) අංශයෙන් උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,415.37කි.
ඛනිජ තෙල් ආශ්රිත නිෂ්පාදන වලින් අමෙරිකානු ඩොලර් මිලියන 1,240.83ක ආදායමක් ලබා ඇති අතර සෙසු ප්රමුඛ ආදායම් උපයන ක්ෂේත්‍ර ලෙස තේ (අ.ඩො.මි. 1,202.26), පොල් ආශ්රිත නිෂ්පාදන (අ.ඩො.මි. 1,054.43) සහ රබර් ආශ්රිත නිෂ්පාදන (අ.ඩො.මි. 873.85) වාර්තා වී ඇත.
