රතු වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල් ජයකොඩි ආරච්චිගේ කවිදු ආකාශ් වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇත.
සංවිධානාත්මක අපරාධ කණ්ඩායමකට ටී 56 ගිනිඅවියක් සහ ජීව පතොරොම් 30ක් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩුබායිහිදී අත්අඩංගුවට ගත් 26 හැවිරිදි සැකකරු අද (26) අලුයම කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් විසින් සිය භාරයට ගන්නා ලදී.
මෙම සැකකරු පසුගිය 2025 වසරේ පෙබරවාරි මස (08) වැනිදා ටී 56 ගිනිඅවියක් සහ ජීව පතොරොම් 30ක් අලෙවි කර මෙරටින් පළා ගොස් ඩුබායිහිදී සැගවී සිටියේය.
