හෙලිකොප්ටර් යානාවලට අමතරව අමෙරිකාවෙන් නාවික නෞකාවක්

ඇමරිකානු රජය විසින් පරිත්‍යාග කරන ලද TH-57 Sea Ranger’ හෙලිකොප්ටර් යානා සහ ඇමරිකානු වෙරළාරක්ෂක බලකායට අනුයුක්තව මෙහෙයුම් කටයුතු සිදු කළ කටර් (Cutter) වර්ගයේ නෞකාව ශ්‍රී ලංකාව වෙත රැගෙන එන ලදි.

මෙය රටේ ආරක්ෂාව ශක්තිමත් කිරීමට, ආරක්ෂක අංශ නවීකරණය කිරීමට සහ කලාපීය ස්ථාවරත්වය වෙනුවෙන් ජාත්‍යන්තර සබඳතා වර්ධනය කිරීමට රජය ගන්නා උත්සාහයේ තවත් එක් වැදගත් පියවරකි.

මෙම TH-57′ හෙලිකොප්ටර් යානා ‘Bell 206’ හෙලිකොප්ටර් යානා තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් නිපදවා ඇති අතර ඇමරිකානු රජයේ අතිරික්ත ආරක්ෂක ද්‍රව්‍යය වැඩසටහන (Excess Defense Articles Program) යටතේ මෙම යානා දහය ශ්‍රී ලංකාව සඳහා පරිත්‍යාග කර ඇත.

එමෙන්ම, ශ්‍රී ලංකාවට ලැබුණු ‘DECISIVE’ නෞකාවෙහි දිග මීටර් 64ක් වන අතර එයට නාවික සැතපුම් 6000ක දුරක් අඛණ්ඩව යාත්‍රා කිරීමේ හැකියාවක් පවතී.

මෙම හෙලිකොප්ටර් යානා මඟින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් සහ පුහුණු කිරීමේ හැකියාවන් තවදුරටත් ඉහළ නැංවෙනු ඇත. මෙම යානා ගුවන් නියමු පුහුණුවීම්, ආපදා සහන සේවා, මානුෂීය ආධාර සහ මුහුදු සීමා නිරීක්ෂණ කටයුතු සඳහා යොදා ගැනීමට නියමිතය.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන්, රජය විසින් සිදු කරන ලද රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා මගින් ශ්‍රී ලංකාවට හිමි වූ ආරක්‍ෂක ආධාර මාලාවක ප්‍රතිඵලයක් ලෙස මෙම හෙලිකොප්ටර් යානා මෙරටට ලැබී තිබේ.

මෙම ගුවන් යානාවලට අමතරව, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත තිළිණ කළ ඇමරිකානු වෙරළාරක්ෂක නෞකාව ද මේ වන විට දිවයිනට ළඟා වී ඇති අතර එය මෙම සතිය නිම වීමත් සමඟ නිල වශයෙන් අධිකාරියට පත් කිරීමට (Commissioned) නියමිතය.

මෙලෙස ලැබුණු ගුවන් සහ නාවික ආරක්ෂක මෙවලම් මඟින් ශ්‍රී ලංකාවේ ස් ස්වෛරීභාවය සුරැකීමටත්, මෙරට සතු විශාල සමුද්‍රීය කලාපය නිරීක්ෂණය කිරීමටත්, සමුද්‍රිය කලාපයේ මතුවන ආරක්‍ෂක අභියෝගයන්ට සාර්ථකව මුහුණදීමට ඇති හැකියාව ද වර්ධනය වේ.

එසේම, ශ්‍රී ලංකා මුහුදු සීමාව සහ අනන්‍ය ආර්ථික කලාපය (Exclusive Economic Zone) තුළ සිදුවන නීති විරෝධී මසුන් ඇල්ලීම, නීති විරෝධී ජාවාරම් සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ඇතුළු නීති විරෝධී ක්‍රියාවන් වැළැක්වීමට ද, මෙයින් විශාල සහයෝගයක් ලැබෙනු ඇත.

මෙම ආරක්ෂක මෙවලම් ලබා ගැනීමට හැකිවීම තුළින්, ශ්‍රී ලංකාවේ ස්වාධීන සහ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය ආරක්ෂා කරගනිමින් ලෝකයේ සෙසු රටවල් සමඟ සුහද සබඳතා පවත්වාගෙන යාමේ සාර්ථකත්වය පැහැදිලි වේ.

ජනාධිපතිවරයාගේ මඟපෙන්වීම යටතේ ආරක්ෂක අමාත්‍යාංශය ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමටත්, රටේ ආරක්‍ෂක සූදානම ඉහළ නැංවීමටත් ප්‍රධාන කාර්‌යභාරයක් ඉටු කර ඇත.

ශ්‍රී ලංකාව ලෝකයේ සෙසු රටවල් සමඟ පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා අඛණ්ඩව ශක්තිමත් කරගනිමින්, රටේ සංවර්ධනයට සහ ආරක්ෂාවට සෘජුවම දායක වන මෙවැනි හවුල්කාරිත්වයන් ඉදිරියටත් පවත්වාගෙන යාමට කටයුතු කරනු ඇත.

Advertisements
Advertisements
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments