Foreign news

ඉබෝලා වසංගතය ලොව දරුණුතම තත්ත්වයක

ඉබෝලා වසංගතය ලොව දරුණුතම තත්ත්වයක

ඉබෝලා වසංගතය මෙතෙක් ලෝකයේ වාර්තා වූ දරුණුතම ඉබෝලා වසංගතය පවා ඉක්මවා යෑමේ දැඩි අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

වත්මන් ව්‍යාප්තියේ වේගය අඛණ්ඩව පැවතුනහොත්, අවම වශයෙන් පුද්ගලයින් 11,000කට වැඩි පිරිසකගේ ජීවිත බිලිගත් 2014-2016 වසංගත සමය පවා මෙමඟින් ඉක්මවා යනු ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මෙම වසරේදී වසංගතය හේතුවෙන් මේ වන විට ආසාදිතයින් 4,300කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මරණ 2,000කට වඩා සිදුව ඇත.

මෙම වසංගතය මැයි මාසයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කළද, එයට මාස තුනකට පමණ පෙර, එනම් පෙබරවාරි මාසයේ සිට වෛරසය පැතිර යන්නට ඇතැයි සෞඛ්‍ය නිලධාරීන් අනාවරණය කර ඇත.

මෙම වසරේ වසංගතයට හේතු වී ඇත්තේ මීට පෙර 2007 සහ 2012 යන වර්ෂවලදී පමණක් වාර්තා වී ඇති දුර්ලභ ‘බුන්ඩිබුගියෝ’ (Bundibugyo) නම් ඉබෝලා විශේෂයයි. 

මෙම වෛරස් විශේෂය සඳහා ලොව මෙතෙක් අනුමත කරන ලද කිසිදු එන්නතක් හෝ පිළිගත් ප්‍රතිකාර ඖෂධයක් නොමැත.

කෙසේ වෙතත්, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් මෙම වෛරසය සඳහා නව එන්නතක් නිර්මාණය කර ඇති අතර එහි පළමු අදියරේ මිනිස් අත්හදා බැලීම් සඳහා බ්‍රිතාන්‍ය ඖෂධ නියාමන අංශයෙන් අවසර ලැබී ඇත.

ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් එම ධුරයෙන් ඉවත්වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (13) සඳහන් කරයි.

මේ මස අවසානයේදී ලේකම් කැරොලයින් ලෙවිට් ධුරයෙන් ඉවත් වන අතර ඇය ඉදිරියේදී තමන්ගේ උපදේශකයෙකු ලෙස කටයුතු කරනු ඇති බව ටෘත් සෝෂල් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සටහනක් තබමින් ජනපති ට්‍රම්ප් සඳහන් කරයි.

දරුවන් සමග වැඩි කාලයක් ගත කිරීමේ අරමුණින් ඇය එම තීරණය ගෙන ඇති බවත් තමන් ඊට ගරු කරන බවද ජනාධිපති ට්‍රම්ප් නිකුත් කළ පණිවුඩයේ සඳහන් වේ.

29 හැවිරිදි කැරොලයින් ලෙවිට් ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් ධුරයට පත්වූ ලාබාලතම පුද්ගලයා බවට පත්වෙමින් අමෙරිකානු දේශපාලන ඉතිහාසයට එක්විය.

හෝමූස් පාලනය අමෙරිකානු හමුදාව යටතට

හෝමූස් පාලනය අමෙරිකානු හමුදාව යටතට

අමෙරිකානු හමුදාවන්ගේ සම්පූර්ණ පාලනය යටතේ හෝමූස් සමුද්‍ර සන්ධිය පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හමුවකදී සඳහන් කරයි.

කෙසේ වෙතත් හෝමූස් සන්ධිය යළි විවෘත කිරීමට නම්, අමෙරිකානු යුද්ධය සහ අවහිර කිරීම් සම්පූර්ණයෙන්ම අවසන් කළ යුතු බවත් අත්හිටුවන ලද ඉරාන වත්කම් මුදා හැරිය යුතු බවත් කලාපීය සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ යුතු බවට ඉරානය කොන්දේසි පනවා ඇත.

මේ අතර අනතුරු ඇඟවීම් නොසලකා හරිමින් ඉරාන වරායක් වෙත ගමන් කිරීමට උත්සාහ කළ පැනමා කොඩිය යටතේ ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට මිසයිල දෙකක් අමෙරිකානු හමුදා විසින් එල්ල කර ඇත.

මරණ දඬුවම අහෝසි කරන ලෙබනනය

මරණ දඬුවම අහෝසි කරන ලෙබනනය

නිල වශයෙන් මරණ දඬුවම අහෝසි කිරීමට ලෙබනන පාර්ලිමේන්තුව තීරණය කර ඇති අතර ඒ අනුව ලෙබනනය නීතිගතව මරණ දඬුවම අහෝසි කළ පළමු මැදපෙරදිග රට බව වාර්තා වේ.

2024 වසරෙන් පසු ලෙබනනයේ කිසිදු මරණ දඬුවමක් ක්‍රියාත්මක කර නොමැති බව වාර්තා වන අතර එම මරණ දඬුවම අහෝසි කිරීම සඳහා වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වූ බව එරට පාර්ලිමේන්තු කථානායක කාර්යාලය සඳහන් කරයි.

ලෙබනනයේ මරණ දඬුවම නිල වශයෙන් අහෝසි කිරීමට ගත් තීරණය ඓතිහාසික පියවරක් බව ලෙබනන අධිකරණ අමාත්‍ය අඩෙල් නසාර් මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සඳහන් කරයි.

හිටපු ජනාධිපති අසාද්ට මරණ දඬුවම

හිටපු ජනාධිපති අසාද්ට මරණ දඬුවම

හිටපු ජනාධිපති බෂාර් අසාද් සහ ඔහුගේ බාල සහෝදරයාට මානවත්වයට එරෙහි අපරාධ සහ යුද අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කර ඇත.

සිරියානු අධිකරණයක් විසින් මෙම මරණ දඬුවම නියම කර ඇති අතර හිටපු ජනාධිපති අසාද් සහ ඔහුගේ සහෝදරයා අධිකරණයේ පෙනී නොසිටි අවස්ථාවකදී නඩුව විභාගයට ගෙන මෙම දඬුවම නියම කර ඇත.

ලක්ෂ පහකට ආසන්න පිරිසකට ජීවිත අහිමි වූ වසර 14ක සිවිල් යුද්ධයේදී සිදුවූ යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මොවුන්ට මෙම දඬුවම හිමිවිය.

පසුගිය 2011 වසරේදී දාරා (Daraa) ප්‍රදේශයේ විරෝධතා මර්දනය කිරීමට නායකත්වය දුන් අසාද්ගේ ඥාති සොහොයුරෙකු වන ආටෙෆ් නජීබ්ටද (Atef Najib) මරණ දඬුවම නියම විය.

ළමුන්ට ලබාදෙන එන්නත් 11ට අඩු කරයි.. ට්‍රම්ප්ගේ නියෝගය

ළමුන්ට ලබාදෙන එන්නත් 11ට අඩු කරයි.. ට්‍රම්ප්ගේ නියෝගය

ළමුන්ට ලබාදෙන එන්නත් සංඛ්‍යාව අඩු කිරීම සඳහා වන නියෝගයකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා ඇත.

අමෙරිකානු ළමා රෝග පිළිබඳ ඇකඩමිය (AAP) විසින් දැනට නිර්දේශ කර ඇති ළමා එන්නත් 18ක සංඛ්‍යාව 11 දක්වා අඩු කිරීමට මෙම නියෝගය මගින් නිර්දේශ කරයි.

මෙම නියෝගය අනුව සියලුම ළමුන් සඳහා නිර්දේශිත එන්නත් වන්නේ සරම්ප, කම්මුල්ගාය, රුබෙල්ලා, ඩිප්තීරියා, ටෙටනස්, පර්ටුසිස් (කක්කල් කැස්ස), පෝලියෝ, හිමොෆිලස් ඉන්ෆ්ලුවෙන්සා වර්ගයේ B (Haemophilus influenzae type B), නියුමොකොකල් රෝගය, මානව පැපිලෝමා වෛරසය සහ වරිසෙල්ලා (වතුර බිබිලි රෝගය) සඳහා වන එන්නත් වේ.

තම පරිපාලනය විසින් වඩාත් බරපතල සහ භයානක රෝගවලට එරෙහි මූලික එන්නත් 11ක් සඳහා වන ඉහළම ප්‍රමිතියෙන් යුත් ළමා එන්නත් නිර්දේශ පිළිගන්නා බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

MMR එන්නත එකවර ලබා දුනහොත් එය “ඉතා මාරාන්තික” විය හැකි බවත් එය දරුවෙකුගේ ශරීරයට සෝඩා බෝතලයක් වත් කිරීමට සමාන බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

“එන්නත් අඩු කරනවා” යන එයින් අදහස් වන්නේ, එන්නත් හෝ ‘ජැබ්’ (jabs) ලෙස හැඳින්වෙන එන්නත් කිරීම් සංඛ්‍යාව අඩු කිරීම පමණක් නොව, ඒවා වෛද්‍යවරයා හමුවන අවස්ථා කිහිපයක් තුළ ලබාදීමයි.

MMR එන්නත්වල ආරක්ෂාව පිළිබඳව දිගු කලක් තිස්සේ සැක මතු කර තිබුණද, එම එන්නත් සහ ඔටිසම් රෝගය අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව විවිධ අධ්‍යයන වලින් තහවුරු වී ඇත.

මාස 07ට වාර්තාගත ඉහළ යාමක්

මාස 07ට වාර්තාගත ඉහළ යාමක්

වසරේ ජනවාරි සිට ජූලි මාසය දක්වා කාලය තුළ විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලැබී ඇති සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5,000 ඉක්මවා ඇත.

පසුගිය 2025 වසරේ අදාළ කාලසීමාව තුළ මෙරටට ලැබී ඇති ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් 4,435කි.

මෙම වසරේ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 10ක් ඉපැයීමට අපේක්ෂා කරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ සඳහන් කරයි.

කොලොම්බියා භූකම්පනයෙන් මියගිය ගණන 130 පනී

කොලොම්බියා භූකම්පනයෙන් මියගිය ගණන 130 පනී

කොලොම්බියාවේ සිදුවූ භූකම්පනය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 132 දක්වා ඉහළ ගොස් ඇති බවත් 570කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රිච්ටර් මාපක 7.4ක ප්‍රබලත්වයකින් සටහන් වූ මෙම භූකම්පනයේ කේන්ද්‍රය කොලොම්බියාවේ පැසිෆික් වෙරළ තීරයේ පිහිටි චොකෝ පළාතේ සැන් ජොසේ ඩෙල් පල්මාර් ආසන්නයේ පිහිටා තිබූ බව කොලොම්බියානු භූ විද්‍යා සේවය සඳහන් කරයි.

මෙම භූකම්පනය වසර ගණනාවකට පසු එරටට බලපෑ විශාලතම භූකම්පනය වන අතර මෙම තත්ත්වය හේතුවෙන් කොලොම්බියාව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

මෙම තත්ත්වය හේතුවෙන් පේරෙයිරා, මැනිසාලෙස්, ක්විබ්ඩෝ, ආර්මේනියා, කාර්ටාගෝ සහ බුවනවෙන්තුරා යන ගුවන් තොටුපළවල ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

තෙල් මිල යළිත් ඉහළ⁣ට

තෙල් මිල යළිත් ඉහළ⁣ට

අද (11) දින ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් ඇත.

ඒ අනුව BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 87.57ක් දක්වා ඉහළ ගොස් ඇත.

WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 82.04ක් දක්වා ඉහළ ගොස් ඇත.

MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 84.90 දක්වා ඉහළ ගොස් ඇත.

ඉරානයෙන් ට්‍රම්ප්ට නව කොන්දේසි 6ක්

ඉරානයෙන් ට්‍රම්ප්ට නව කොන්දේසි 6ක්

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනය පාලනය කිරීම සඳහා වන නව එකඟතාවයක් පිළිබඳ සාකච්ඡා සාර්ථක මෙන්ම ඉතා දියුණු මට්ටමක පවතින බව ඉරානය සහ ඕමානය ප්‍රකාශ කර ඇත.

එම සාකච්ඡාවල ප්‍රධාන වශයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යා හැකි නව මුහුදු මාර්ගයක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු වුවද එම මුහුදු මාර්ගය නැවත විවෘත කිරීමට පෙර අමෙරිකාව විසින් ඉටු කළ යුතු කොන්දේසි මාලාවක් ඉරානය විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.

අමෙරිකාව තම හැසිරීම් නිවැරදි කරගත යුතු බවත් ඉදිරිපත් කර ඇති කොන්දේසි මාලාව ඉටු කළ යුතු බව ඉරාන ජාතික ආරක්ෂක මණ්ඩලයේ හිටපු ලේකම් සහ වත්මන් උත්තරීතර නායකයාගේ උපදේශක මොහොමඩ් බගර් සොල්ගාදර් සඳහන් කරයි.

එම කොන්දේසි මාලාව පහතින්..

1.කිසිදු අයුරකින් හෝ භාෂාවකින් ඉරානයට තර්ජනය නොකරන්න, එමෙන්ම මෙම ජාතියේ පූජනීය වස්තූන්ට හෝ අභිමානයට අපහාස නොකිරීම.

2.ඉරානයට සහ ලෙබනනය, පලස්තීනය, යේමනය මෙන්ම ඉරාකය යන රටවල සිටින ඔවුන්ගේ මිත්‍ර පාර්ශවයන්ට එරෙහිව සිදු කරන යුද්ධ සහ ආක්‍රමණ සදහටම නතර කිරීම.

3.නාවික අවහිරතා ඉවත් කර, ඉරානය අවට ස්ථානගත කර ඇති ඇමෙරිකානු නාවික සහ ගුවන් සන්නද්ධ බලකායන් වහාම ඉවත් කිරීම.

4.ආක්‍රමණශීලී යුද්ධ දෙකක් හේතුවෙන් ඉරානයට සිදු වූ සියලුම හානි සඳහා සම්පූර්ණ වන්දි මුදල් ගෙවන්න.

5.ඉරාන ජනතාවට එරෙහිව පනවා ඇති ‘කුරිරු සහ නීතිවිරෝධී’ ආර්ථික සම්බාධක වහාම ඉවත් කිරීම.

6.තහනම් කර ඇති සහ සොරකම් කර ඇති ඉරාන ජනතාවට අයත් සියලුම වත්කම් කොන්දේසි විරහිතව නිදහස් කිරීම.