Foreign news

අමෙරිකානු ඉතිහාසයේ දැවැන්තම නඩුව මෙටා සමාගමට එරෙහිව අරඹයි

අමෙරිකානු ඉතිහාසයේ දැවැන්තම නඩුව මෙටා සමාගමට එරෙහිව අරඹයි

ෆේස්බුක් (Facebook), වට්ස්ඇප් (Whatsapp), ඉන්ස්ට්‍රග්‍රෑම් ආදී සමාජ මාධ්‍ය හිමිකාරීත්වය දරණ මෙටා (Meta) සමාගමට එරෙහිව අමෙරිකාවේ ජනපද 30ක් එකතු වී ගොනු කළ දැවැන්ත නඩුව කැලිෆෝනියා ෆෙඩරල් අධිකරණයේදී විභාග වීම ආරම්භ කර ඇත.

මෙටා (Meta) සමාගම කුඩා දරුවන් සහ නව යොවුන් වියේ පසුවන්නන් හිතාමතාම ඔවුන්ගේ සමාජ මාධ්‍යවලට ඇබ්බැහි කරගනිමින්, ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට බරපතල හානි සිදුකළ බවට චෝදනා එල්ල වී ඇත.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් අමෙරිකානු ඩොලර් ට්‍රිලියනයකට (ඩොලර් බිලියන 1,000 කට) අධික වන්දියක් ඉල්ලා මෙම නඩුව ගොනු කර ඇති අතර අමෙරිකානු ඉතිහාසයේ පාරිභෝගික ආරක්ෂණය වෙනුවෙන් ගොනු කළ විශාලතම නඩුව මෙය ලෙස සැලකෙයි.

දරුවන් වැඩි වේලාවක් ඇප් තුළ රඳවා තබාගැනීම සඳහා සීමාවකින් තොරව ‘පෝස්ට්’ එම දරුවන්ට දකින්න සැලැස්වීම, පෝස්ට්වලට ලැබෙන ‘ලයික්’ ප්‍රදර්ශනය කිරීම සහ නිතර නිතර ‘නෝටිෆිකේෂන්’ දකින්න සැලැස්වීම වැනි මනෝවිද්‍යාත්මක උපක්‍රම ‘මෙටා’ සමාගම විසින් භාවිත කරන බව මෙම නඩුව මඟින් පෙන්වා දෙයි.

සමාගමේ ලාභය වැඩි කරගැනීමේ අරමුණින් ‘මෙටා’ සමාගම දරුවන්ගේ පෞද්ගලිකත්වය සහ පාරිභෝගික ආරක්ෂණ නීති උල්ලංඝනය කරමින් මෙලෙස කටයුතු කර ඇති බවට නීතිඥයන් චෝදනා කර ඇත.

ඒ අනුව කැලිෆෝනියා සහ නිව්යෝර්ක් ඇතුළු අමෙරිකාවේ ජනපද 30ක් එක්ව මෙම නඩුව ගොනුකර ඇත.

ඉරානයෙන් අමෙරිකාවට රතු එළියක්

ඉරානයෙන් අමෙරිකාවට රතු එළියක්

අන්තර්කාලීන අවබෝධතා ගිවිසුමේ කොන්දේසි අමෙරිකාව විසින් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන තෙක් හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකරන බව ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාගර් ගලීබාෆ් සඳහන් කරයි.

නාවික අවහිරතා සහ සම්බාධක ඉවත් කිරීම, ඉරානයේ ශීත කළ වත්කම් නිදහස් කිරීම, තෙල් සම්බාධක ඉවත් කිරීම මෙන්ම සියලු පෙරමුණුවල තර්ජන සහ හමුදා මෙහෙයුම් අවසන් කිරීම ඇතුළු කොන්දේසි ඉටු කළ යුතු බවද ඉරාන කථානායකවරයා සඳහන් කරයි.

ලෝකයේ වැදගත්ම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධව ඉරානය මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීම හේතුවෙන් යුද ගැටුම් නැවත ඇතිවීමට ඉඩකඩ ඇති බව වර්තා වේ.

රුසියාවේ අගනුවරට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාර 600ක්

රුසියාවේ අගනුවරට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාර 600ක්

යුක්‍රේනය විසින් රුසියාවේ මොස්කව් අගනුවර ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාර 600ක් පමණ ඊයේ රාත්‍රීයේ එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ඩ්‍රෝන ප්‍රහාර 180කට අධික ප්‍රමාණයක් මොස්කව් අගනුවර ඉලක්ක වෙත පතිත වී ඇති අතර තවත් විශාල ප්‍රමාණයක් විනාශ කළ බව මොස්කව් නගරාධිපතිවරයා සඳහන් කර ඇත.

මේ අතර මෙම ප්‍රහාර සඳහා යොදාගත් ඩ්‍රෝන සියල්ල බ්‍රිතාන්‍ය රජය විසින් යුක්‍රේනය වෙත ලබාදී ඇති බව රුසියාව චෝදනා කරයි.

පසුගිය වසර දෙකක කාලය තුළ මොස්කව් අගනුවර වෙත එල්ල වූ දැවැන්තම ඩ්‍රෝන ප්‍රහාර මාලාව මෙය වන බව සඳහන් වේ.

“ඕමානයට බෝම්බ ප්‍රහාර” ට්‍රම්ප් අනතුරු අඟවයි

“ඕමානයට බෝම්බ ප්‍රහාර” ට්‍රම්ප් අනතුරු අඟවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඕමානයට අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරානය සමඟ හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් සිදුවන සාකච්ඡාවලට ඕමානය බාධා කළහොත් එම රටට දැවැන්ත බෝම්බ ප්‍රහාර එල්ල කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

ෆොක්ස් නිව්ස් මාධ්‍යවේදීන් සමඟ පැවැති සාකච්ඡාවකදී ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ,

ඕමානය මේ සඳහා මැදිහත් වී බාධා කළහොත්, අපි ඔවුන්ට දැඩි ලෙස බෝම්බ ප්‍රහාර එල්ල කරනවා.”

එක අමෙරිකානු සෙබළෙක් මරණ ඉරාන ජනතාවට විශාල ත්‍යාග මුදලක්

එක අමෙරිකානු සෙබළෙක් මරණ ඉරාන ජනතාවට විශාල ත්‍යාග මුදලක්

ඉරාන හමුදා ප්‍රධානී අමීර් හතාමි විසින් අමෙරිකානු සෙබළුන් ඝාතනය කරන හෝ පණපිටින් අල්ලා භාරදෙන පුද්ගලයන් සඳහා අමෙරිකන් ඩොලර් 30,000ක මුදලක් ත්‍යාගයක් ලෙස ලබාදෙන බව ප්‍රකාශ කරයි.

අමෙරිකාවේ කෙණෙහිලිකම් වලට එරෙහිව සටන් කිරීමට ඉරාන තරුණයන් ලොකු උන්නදුවක් දක්වන බවත් එය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවද ඉරාන හමුදා ප්‍රධානී අමීර් හතාමි සඳහන් කරයි.

ඒ අනුව ඉරාන පිරිමි පුද්ගලයෙක් විසින් අමෙරිකා සෙබළුන් ඝාතනය කරන හෝ පණපිටින් අල්ලා භාරදීම කළොත් අමෙරිකන් ඩොලර් 30,000ක් ලබාදෙයි.

තවද ඉරාන කාන්තාවක් අමෙරිකා සෙබළුන් ඝාතනය කරන හෝ පණපිටින් අල්ලා භාරදීම කළොත් ඇයට අමෙරිකන් ඩොලර් 60,000ක් ලබාදෙන බව හමුදා ප්‍රධානී අමීර් හතාමි සඳහන් කරයි.

තවද අමෙරිකානු සෙබළෙකු ඝාතනය කිරීම සඳහා භාවිතා කරන ආයුධය, එහි වටිනාකම මෙන් දෙගුණයක මුදලකට රජය විසින් මිලදී ගෙන ඒ වෙනුවට නව ආයුධයක් ලබාදීමට කටයුතු කරන බවද සඳහන් කරයි.

ට්‍රම්ප්ගේ ප්‍රකාශය නිසා මැදපෙරදිග යළිත් උණුසුම්

ට්‍රම්ප්ගේ ප්‍රකාශය නිසා මැදපෙරදිග යළිත් උණුසුම්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඉරානය අවධාරණය කළේ, හෝමූස් සමුද්‍ර සන්ධිය තම රටට අයත් සම්පතක් බවයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය කඩිනමින් අමෙරිකානු භූමියක් ලෙස  ප්‍රකාශයට පත් කරන බවත් ගැටුම් අවසන් වීමෙන් පසුව එහි හිමිකම අමෙරිකාවට ලබාගන්නා බව අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයත් සමග මැදපෙරදිග කලාපයේ යුද උණුසුම තවත් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දුනීසියාවේ තවත් භූකම්පනයක්

ඉන්දුනීසියාවේ තවත් භූකම්පනයක්

අද (15) දින අලුයම ඉන්දුනීසියාවේ සිදුවූ මාරාන්තික භූකම්පනයෙන් මියගිය ගණන 38ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් අද පස්වරුවේ රික්ටර් මාපකයේ 6.9ක ප්‍රබලත්වයෙන් යුතු තවත් ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භූකම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බවද ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ජපානය බියට පත්කළ පුටින්ගේ හදිසි සංචාරය

ජපානය බියට පත්කළ පුටින්ගේ හදිසි සංචාරය

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් කුරිල් දාමයේ දූපත් හතරෙන් එකක් වන ඉටුරුප් දූපතේ සංචාරයක නිරත වී ඇති අතර රුසියානු ජනාධිපතිවරයෙක් මෙම දූපතට පුද්ගලිකව සිදුකළ පළමු සංචාරය මෙය වේ.

මෙම ඉටුරුප් දූපතට රුසියාව සහ ජපානය හිමිකම් කියන අතර මොස්කව් සහ ටෝකියෝ අතර මෙතෙක් නිල සාම ගිවිසුමක් අත්සන් කර නොමැත.

කුරිල් දූපත් උතුරු ජපානයේ හොක්කයිඩෝ සහ රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපය අතර පිහිටා ඇති අතර දකුණු කෙළවරේ පිහිටි දූපත් හතරක් ජපානය විසින් හිමිකරගෙන ඇති අතර ඒවා උතුරු ප්‍රදේශ ලෙස හැඳින්වේ.

රුසියානු ජනාධිපතිවරයාගේ මෙම සංචාරයට ජපානය දැඩි ලෙස විරෝධය පළකර ඇත.

මෙම දූපත් ඉතිහාසය මෙන්ම ජාත්‍යන්තර නීතිය මත පදනම්ව ජපානයට හිමි භූමියක් වන බැවින් ජපාන රජය මෙම සංචාරයට දැඩි ලෙස විරෝධය පළ කරන බව ජපාන විදේශ අමාත්‍ය ටොෂිමිට්සු මොටෙගි සඳහන් කරයි.

තවද රුසියානු ජනාධිපතිවරයාගේ මෙම හදිසි සංචාරය සම්බන්ධයෙන් ජපාන අග්‍රාමාත්‍යවරිය දැඩි ලෙස විරෝධය පළකර ඇත.

මෙම සංචාරය ජපන් ජනතාවගේ හැඟීම් රිදවයි. උතුරු ප්‍රදේශ පිළිබඳ ජපානයේ ස්ථාවර ස්ථාවරයට නොගැලපෙයි. රුසියානු පාර්ශවය මෙම කාරණයේ බරපතලකම ඉතා බැරෑරුම් ලෙස සලකනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.”

ගංජා ගැසූ ගුවන් නියමුවා උඩුගුවනේදී පිස්සු නටයි

ගංජා ගැසූ ගුවන් නියමුවා උඩුගුවනේදී පිස්සු නටයි

වහාම ක්‍රියාත්මක වන පරිදි සිය නියමුවන් තහනම් උත්තේජක භාවිත කර ඇත්දැයි සොයා බැලීමේ පරීක්ෂණ Air India සමාගම විසින් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

පුකෙට් සිට දිල්ලි බලා පියාසර කළ ගුවන් යානයක් ක්ෂණිකව පහළට ඇදී යාමේ සිදුවීමක් හේතුවෙන් Air India සමාගම මෙම තීරණය ගෙන ඇත.

එහි සිටි ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවා තහනම් ද්‍රව්‍ය පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහිදී ඔහු ගංජා මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තහවුරු වී ඇති බව වාර්තා වේ.

මෙම සිද්ධිය වන අවස්තාවේදි ගුවන් යානයේ මගීන් 137 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 8 දෙනෙකු සිට ඇති අතර එහිදී මගීන් 20 දෙනෙක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් සිව්දෙනෙක් තුවාල ලබා ඇත.

මේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය අවසන් වන තුරු එම ගුවන් යානයේ නියමුවන් දෙදෙනාම රාජකාරිවලින් ඉවත් කර ඇත.

ඒ අනුව ගුවන් සමාගමේ ගුවන් සේවා අංශයක් වන Air India Express හි නියමුවන්ට ද එම තහනම් උත්තේජක භාවිත කර ඇත්දැයි සොයා බැලීමේ පරීක්ෂණ සිදු කිරීමට තීරණය කර ඇත.

මෙම පරීක්ෂණ Air India ඇකඩමියේ පුහුණු සැසිවලට සමගාමීව මෙන්ම, ගුවන් නියමුවන් දැනුවත් කරන මධ්‍යස්ථාන සහ කාර්යාල ඇතුළු තවත් ස්ථාන කිහිපයකදීම සිදු කරයි.

රුසියාවේ ප්‍රධාන වරායකට යුක්‍රේනයෙන් දැවැන්ත ප්‍රහාර

රුසියාවේ ප්‍රධාන වරායකට යුක්‍රේනයෙන් දැවැන්ත ප්‍රහාර

රුසියාවේ ‘නොවොරොසිස්ක්’ (Novorossiysk) කළු මුහුදු වරායට යුක්‍රේනය විසින් දැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කර ඇත.

ප්‍රහාරයෙන් රුසියාවේ ප්‍රධාන ධාන්‍ය අපනයන පර්යන්ත (grain terminals) දෙකකට හානි සිදුවී ඇති අතර එහි වැඩකටයුතු අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරයෙන් අට හැවිරිදි දරුවෙකු ඇතුළු තිදෙනෙකු මියගොස්, තවත් 24 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.