ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 04ක අල්ලස් මුදලක් ඉල්ලා, එම මුදලින් කොටසක් ලබාගැනීම සම්බන්ධයෙන් වරදකරු වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු තක්සේරුකරුවෙකුට වසර 16ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර ඇත.
වසර 15කට පමණ පෙර සිදුවූ මෙම අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව, විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බවට මහාධිකරණය තීරණය කළේය.
ඒ අනුව විත්තිකරුට වසර 16ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ විත්තිකරුගේ ප්‍රජා අයිතිවාසිකම් වසර 07ක කාලයක් සඳහා අහෝසි කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් විසින් නියෝග කර ඇත.
තවද, ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ඇතුළු අදාළ රාජ්‍ය ආයතන දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විනිසුරුවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන්ට නියෝග කර ඇත.
2011 වසරේදී අනුරාධපුර දේශීය ආදායම් දෙපාර්තමේන්තු කාර්යාලයේ තක්සේරුකරු ලෙස සේවය කළ විත්තිකරු අනුරාධපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් වාර්ෂිකව අය කළ යුතු බදු මුදල අඩුකර තක්සේරු කිරීම සඳහා රුපියල් ලක්ෂ 04ක අල්ලසක් ඉල්ලා, ඉන් රුපියල් 3,75,000ක මුදලක් ලබාගැනීම ඇතුළු චෝදනා හතරක් ඔහුට එරෙහිව ඉදිරිපත් කර ඇත.
