Local news

“සිරිලිය” ශිරන්තිට දුන් නියෝගය

“සිරිලිය” ශිරන්තිට දුන් නියෝගය

“සිරිලිය සවිය” ගිණුම සම්බන්ධව සිදුකරන විමර්ශන වලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ලබන (16) වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සහ අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මෙම නියෝගය නිකුත් කළේය.

ශිරන්ති රාජපක්ෂගේ වැඩිදුර වෛද්‍ය වාර්තා ලබන (16) වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා, එතෙක් ඇප සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකරන බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ගැන IMF පුරෝකථනය

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ගැන IMF පුරෝකථනය

2027 වසර සඳහා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) වර්ධනය සියයට 3.7 දක්වා සීමා වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පුරෝකථනය කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නවතම ලෝක ආර්ථික දැක්ම (World Economic Outlook) වාර්තාවට අනුව එම පුරෝකථනය කර ඇති අතර මෙම වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 4.0ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

2027 වසර සඳහා මෙරට උද්ධමන අනුපාතය සියයට 5.4 ක් ලෙසත්, විරැකියා අනුපාතය සියයට 3.9 ක් ලෙසත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව මූල්‍ය අරමුදලේ මෙම නවතම වාර්තාව අනාවරණය කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2026 වසරේදී සියයට 3.1 කින් සහ 2027 වසරේදී සියයට 3.4 කින් ගෝලීය ආර්ථිකය වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

තවද, ගෝලීය මූලික උද්ධමනය මෙම වසරේදී සියයට 4.7 දක්වා ඉහළ ගොස් 2027 වනවිට සියයට 4.1 දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂිත බවද මූල්‍ය අරමුදල සඳහන් කරයි.

කජ්ජාගේ පුත්‍රයා ගිනිඅවියක් සමග අත්අඩංගුවට

කජ්ජාගේ පුත්‍රයා ගිනිඅවියක් සමග අත්අඩංගුවට

තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද බුද්ධි තොරතුරකට අනුව සිදුකළ විශේෂ වැටලීමකදී, නිවසක සඟවා තිබූ විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

විදේශීය රටක නිෂ්පාදිත බෝල්ට් ඇක්ෂන් (Bolt-action) වර්ගයේ බෝර 12 ගිනි අවියක් සමඟ මෙම සැකකරුව අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මිද්දෙණිය පොලිස් වසමේදී දරුවන් දෙදෙනෙකු සමඟ වෙඩි තබා ඝාතනය කෙරුණු විදානගමගේ අරුණ ප්‍රියන්ත හෙවත් ‘කජ්ජා’ නමැත්තාගේ පුත්‍රයා බව වාර්තා වේ.

හිනා වෙවී අධිකරණයට ආ නාමල් හිටපු තැනටම.. අධිකරණයෙන් නියෝග

හිනා වෙවී අධිකරණයට ආ නාමල් හිටපු තැනටම.. අධිකරණයෙන් නියෝග

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී මිලියන 100ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (13) දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

අල්ලස් පනත යටතේ සහ මුදල් විශුද්ධිකරණ පනත යටතේ නාමල් රාජපක්ෂට එරෙහිව ඇති නඩුවල විමර්ශන අවසන් බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ තවදුරටත් ලබන (27) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මෙම නියෝගය නිකුත් කළේය. 

යෝෂිත සහ වසන්තට එරෙහි නඩුවට දුන් නියෝගය

යෝෂිත සහ වසන්තට එරෙහි නඩුවට දුන් නියෝගය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ගොනු කර ඇති නඩුව අද (13) දින කොළඹ මහාධිකරණය හමුවේ කැඳවයි.

කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, දැනට ඇප මත පසුවන හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ යන විත්තිකරුවන් දෙදෙනා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

අනතුරුව කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව ලබන (29) වනදා යළි කැඳවීමටත් එදිනට විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කළේය.

2006 සැප්තැම්බර් (01) වනදා සහ 2007 ජූනි (08) වනදා අතර කාලසීමාව තුළ නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කරමින්, යෝෂිත රාජපක්ෂට අයුතුසහගත ලෙස බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ (Royal Navy Young Officers Course) පාඨමාලාව හැදෑරීමට අවස්ථාව සලසාදී රජයට පාඩුවක් සිදුකළ බවට හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

ජොන්ස්ටන්ගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට

ජොන්ස්ටන්ගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පෞද්ගලික ලේකම්වරයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය කළ වැටලීමකින් ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පෞද්ගලික ලේකම්වරයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු 2011 වසරේ ස.තො.ස ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරමින් ප්‍රවර්ධන වැඩසටහනකට යැයි පවසමින් ව්‍යාජ වවුචර්පත් මගින් ලක්ෂ 19කට අධික මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණය කර ඇති බව අනාවරණය වී ඇත.

අද රාත්‍රියේ ප්‍රබල අකුණු.. අවවාදාත්මක නිවේදනයක්

අද රාත්‍රියේ ප්‍රබල අකුණු.. අවවාදාත්මක නිවේදනයක්

අද (13) දින බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත් සඳහා ප්‍රබල අකුණු සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව සඳහන් කරයි.

ගිගුරුම් සහිත තද වැසි සමග තද සුළං ඇති විය හැකි බවත් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

ශිරන්තිට සැත්කමක් කරනවා.. අනේ ඇප දෙන්න

ශිරන්තිට සැත්කමක් කරනවා.. අනේ ඇප දෙන්න

අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුව අද (13) දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබීය.

නඩුව කැඳවු අවස්තාවේදී ශිරන්ති රාජපක්ෂව අධිකරණයට ඉදිරිපත් කිරීමක් සිදුකළේ නැත.

ශිරන්ති රාජපක්ෂ ඊයේ (12) බන්ධනාගාරයේ සිටියදී හදිසි හෘදයාබාධයකට ලක්වීම නිසා කොළඹ ජාතික රෝහලේ හෘද සැත්කම් අංශයට ඇතුළත් කළ බවත් ඇයව මේ වනවිට විවෘත හෘද සැත්කමක් සිදු කිරීමට නියමිත බව පවසමින් සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණයෙන් ඇප ඉල්ලා සිටියේය.

එහෙත්, එවැනි සැත්කමක් සිදුකිරීමට නියමිත බවට තොරතුරු නොමැති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ සඳහන් කළේය.

බන්ධනාගාර නිලධාරීන් විසින් ඉදිරිපත් කළ වාර්තාව අනුව පෙන්වාදී ඇත්තේ, කොළඹ ජාතික රෝහලේ 61 වන වාට්ටුවට ඇය ඇතුළත් කර ඇති බව මිස ඇයගේ රෝග තත්ත්වය හෝ ඇයව ශල්‍යකර්මයකට භාජනය වෙන බවක් වාර්තා වී නොමැති බව මහෙස්ත්‍රාත්වරයා සඳහන් කරයි.

ඒ අනුව ශිරන්ති රාජපක්ෂට විවෘත හදවත් සැත්කමක් සිදු කිරීමට නියමිතද යන්න පිළිබඳව නිශ්චිත වෛද්‍ය තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා, ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබාදීම සඳහා නඩුව අද පස්වරු 2.00 දක්වා කල් තැබීය.

ළමා අපයෝජන පැමිණිලි දිනෙන් දින ඉහළ⁣ට

ළමා අපයෝජන පැමිණිලි දිනෙන් දින ඉහළ⁣ට

2026 වසරේ මුල් මාස නවය තුළ ළමා අපයෝජන ඇතුළු ළමුන් සම්බන්ධ විවිධ පැමිණිලි 9,613ක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී ඇති බව සඳහන් කරයි.

අදාළ කාලසීමාව තුළ වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේදී වන අතර එම සංඛ්‍යාව 1,554ක් බව එම අධිකාරිය සඳහන් කරයි.

අදාළ මාස නවයක කාලසීමාව තුළ ලිංගික අතවර සම්බන්ධ පැමිණිලි 364ක් සහ බරපතළ ලිංගික අතවර සම්බන්ධ පැමිණිලි 114ක්, ස්ත්‍රී දූෂණ සම්බන්ධ පැමිණිලි 169ක්, ලිංගික සූරාකෑම සම්බන්ධ පැමිණිලි 8ක්, ළමුන් වෙළෙඳාම සම්බන්ධ පැමිණිලි 40ක් එම අධිකාරිය වෙත ලැබී ඇත.

තවද, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ළමුන් යොදා ගැනීම සම්බන්ධ පැමිණිලි 37ක්, ළමුන් කෘරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 1,889ක්, යොවුන් වියේ ගැබ් ගැනීම් සම්බන්ධ පැමිණිලි 51ක්, ළමා විවාහ සම්බන්ධ පැමිණිලි 9ක් සහ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ පැමිණිලි 99ක් එම අධිකාරිය වෙත ලැබී ඇත.

දේශීය මුල්‍ය පද්ධතිය ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්

දේශීය මුල්‍ය පද්ධතිය ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්

මේ වසරේ පළමු මාස හය තුළ ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ස්ථාවරව පවත්වා ගෙන යෑමට හැකි වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

භූ දේශපාලනික ආතතීන්, උද්ධමන පීඩනය, බලශක්ති මිල ගණන් ඉහළ යාම සහ මූල්‍ය තත්ත්වයන් වඩාත් දැඩි වීම වැනි අභියෝගාත්මක ගෝලීය තත්ත්වයන් යටතේ ස්ථාවරව පවත්වා ගෙන යෑමට හැකි වී ඇත.

එහෙත්, මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම් හමුවේ දේශීය ආර්ථිකයට අඛණ්ඩව බලපෑම් හා අවදානම් ඇති කරමින් පවතින බව, නවතම මූල්‍ය ස්ථාවරතා සමාලෝචන වාර්තාව එළි දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කරයි.

අඛණ්ඩව සිදුවන ආර්ථික ප්‍රකෘතිමත් වීම, රාජ්‍ය මූල්‍ය තත්ත්වය යහපත් වීම සහ බැංකු හා මූල්‍ය සමාගම් ප්‍රමාණවත් ප්‍රාග්ධන හා මුදල් සංචිත පවත්වාගෙන යාම, මූල්‍ය ස්ථාවරත්වයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

Follow WhatsApp Channel