Local news

“මම මෙතන හැමදාම ඉන්න ආවේ නෑ.. ඕන වෙලාවක යන්න ලෑස්තියි” නීතීඥ සංගමයට සැරට අමතයි

“මම මෙතන හැමදාම ඉන්න ආවේ නෑ.. ඕන වෙලාවක යන්න ලෑස්තියි” නීතීඥ සංගමයට සැරට අමතයි

අවදානමක් නොගෙන වෙනසක් සිදුකළ නොහැකි බවත් රටේ ජනතාව වෙනුවෙන් තමන් එම අවදානම ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

එම අවදානම හමුවේ තනතුරු අහිමි වෙනවා නම්, එය ඉතාම හොදින් භාරගෙන පිටත්වෙලා යන්න තමා සූදානම් බවත් තමන් මේවා වල හැමදාම ඉන්න බලාගෙන ආපු මිනිහෙක් නොවන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

ඔබතුමාලා යම් ස්ථාවරයක සිට මෙතනට පැමිණෙන්නේ. මම සැලකියයුතු ප්‍රමාණයකින් පැමිණෙන්න උත්සාහ කරේ විවෘත මනසකින්. කෙසේ වුවත් අපේ රටේ, සාකච්ඡාවෙන් පස්සේ ඕන දෙයක් කියන්න. විවෘතයි.”

දෙවනුව ඔබතුමාලා කියන්න පුළුවන් මේක නීතීඥවරුන්ගේ සමස්තය කියලා. තව කෙනෙකුට කියන්න පුළුවන් සමස්තය නොවේ. තව කෙනෙකුට කියන්න පුළුවන් බහුතරය. තව කෙනෙකුට කියන්න පුළුවන් සුලුතරය. ඒක විවෘතයි.”

තුන්වනුව මගේ ප්‍රවේශය තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල. මම කිසිසේත්ම මගේ විධායක බලය හෝ අප සතුව තිබෙන බලයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඔබ්බට පාවිච්චි කරන්න උපයෝගි කරගන්නේ නෑ.

උපුල් මහත්මයා කියපු අවධානම. ඒ කියන්නේ මේ ව්‍යවස්ථා සංශෝධනය නිසා අනිත් ජනාධිපතිවරයාට යන්න ඕන, ඔබටත් යන්න වෙයි. “මම යන්න ලෑස්ති මිනිහෙක්. මම මේව වල වාඩිවෙන්න බලාගෙන ආපු මිනිහෙක් නෙමෙයි”.

ඒ වගේම මම, මෙම වෙනස කිරීම සඳහා අවදානම ගන්න ලෑස්ති මිනිහෙක්. වෙනසක් මම හිතන්නේ නෑ සිද්ධ වෙයි කියලා අවදානමකින් තොරව. වෙනසක් හැම විටම සිද්ධ වෙන්නේ අවදානමක් දරාගෙන. මම උදාහරණයක් කියන්නම්.

පාස්කු පරීක්ෂණය දියත් කරලා තියෙන්නේ බුද්ධි අංශ. මගේ ආරක්ෂාවට වග කියන්නෙත් ඔවුන්. දැන් පරීක්ෂණ යනවා. ඒ තුළ ජීවිත අවදානම් පවතින බව මම දන්නවා. නමුත් අවදානම දරාගන්නේ නැතුව වෙනසක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නෑ.

එනිසා මම අවදානම ගන්න සූදානම්. මේ රටේ ජනතාව වෙනුවෙන්. ඒ අවදානම හමුවේ මගේ තනතුරු අහිමි වෙනවා නම්, එය ඉතාම හොදින් භාරගෙන මම පිටත්වෙලා යන්න ලෑස්තියි. ඒකට මම සූදානම්.”

ඊයේ (12) දින පැවති නීතිඥ සංගම් හමුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.

ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් එම ධුරයෙන් ඉවත්වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (13) සඳහන් කරයි.

මේ මස අවසානයේදී ලේකම් කැරොලයින් ලෙවිට් ධුරයෙන් ඉවත් වන අතර ඇය ඉදිරියේදී තමන්ගේ උපදේශකයෙකු ලෙස කටයුතු කරනු ඇති බව ටෘත් සෝෂල් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සටහනක් තබමින් ජනපති ට්‍රම්ප් සඳහන් කරයි.

දරුවන් සමග වැඩි කාලයක් ගත කිරීමේ අරමුණින් ඇය එම තීරණය ගෙන ඇති බවත් තමන් ඊට ගරු කරන බවද ජනාධිපති ට්‍රම්ප් නිකුත් කළ පණිවුඩයේ සඳහන් වේ.

29 හැවිරිදි කැරොලයින් ලෙවිට් ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් ධුරයට පත්වූ ලාබාලතම පුද්ගලයා බවට පත්වෙමින් අමෙරිකානු දේශපාලන ඉතිහාසයට එක්විය.

ත්‍රීරෝද රථ ඇතුළු වාහන රියදුරන්ට වැඩ වරදී.. අහඹු පරීක්ෂණ

ත්‍රීරෝද රථ ඇතුළු වාහන රියදුරන්ට වැඩ වරදී.. අහඹු පරීක්ෂණ

මත්ද්‍රව්‍ය භාවිතා කරමින් රිය පදවන ත්‍රීරෝද රථ, පාසල් වෑන් රථ සහ බර වාහන රියදුරන් අහඹු ලෙස පරීක්ෂා කිරීමට පියවර ගන්නා බව, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථ ධාවනය කරන රියදුරන් සහ කොන්දොස්තරවරුන් සොයා සිදුකරන පරීක්ෂණ පළාත් 5 ක් ආවරණය කරමින් ක්‍රියාත්මක බව එහි සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා සඳහන් කරයි.

ලංකාවේ ස්වභාවික සම්පත ගොඩගන්න සිපෙට්කෝ සූදානම්

ලංකාවේ ස්වභාවික සම්පත ගොඩගන්න සිපෙට්කෝ සූදානම්

මන්නාරම් ද්‍රෝණියේ පවතින ස්වාභාවික වායු සම්පත ගොඩගෙන ප්‍රයෝජනයට ගැනීම සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරාගැනීමේ යෝජනා කැඳවීමේ ක්‍රියාවලිය මේ මාසය තුළ ආරම්භ කරන බව, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

මන්නාරම් ද්‍රෝණියේ ස්වාභාවික වායු පවතින බව ශ්‍රී ලංකා පෙට්‍රෝලියම් සංවර්ධන අධිකාරිය මගින් විද්‍යාත්මකව තහවුරු කරගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර සඳහන් කරයි.

අදාළ ක්‍රියාවලිය ප්‍රසම්පාදන කමිටු අනුමැතිය යටතේ සිදුකරන අතර අයදුම්පත් ඉදිරිපත් කිරීමට ආයෝජකයින්ට මාස 05ක පමණ කාලයක් හිමිවනු ඇති බවද අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපති

ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපති

ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිවරයා ලෙස එරික් මේයර් (Eric Meyer) පත්කර ඇත.

එරික් මේයර් වොෂින්ටන් නුවර පිහිටි රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී නිල වශයෙන් දිවුරුම් දී ඇත.

කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය විසින් මෙම තොරතුරු තහවුරු කර ඇත.

මත්ද්‍රව්‍යට පමණක් දෙවැනි වූ අලුත්ම අංක සූදුව

මත්ද්‍රව්‍යට පමණක් දෙවැනි වූ අලුත්ම අංක සූදුව

නීති විරෝධී සූදු ක්‍රීඩාවක් හේතුවෙන් සමාජය තුළ බරපතළ ව්‍යසනයක් නිර්මාණය වී ඇති බව ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති සිරිල් ඇන්තනි පෙරේරා කෝප් (COPE) අනුකමිටුව හමුවේ සඳහන් කරයි.

අතිශය විනාශකාරී මෙම තත්ත්වය මත්ද්‍රව්‍ය භාවිතයට පමණක් දෙවැනි වන තරමේ බරපතළ බවත් වසර 4-5කට පෙර ගම්වල රුපියල් 100 වැනි මුදලකට ආරම්භ වූ ‘කොටු කැපීමේ’ සූදුවක් මෙලෙස බරපතළ ව්‍යසනයක් දක්වා දිගහැරී ඇති බවද සභාපතිවරයා සඳහන් කරයි.

ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලවල දිනුම් ඇදීමේ අංක පදනම් කරගනිමින් මෙය පවත්වාගෙන යනු ලබන බවත් ආදායම් අධික ප්‍රදේශවල එක කොටුවක් රුපියල් ලක්ෂය දක්වා ඉහළ ගොස් ඇති බවද සභාපතිවරයා සඳහන් කරයි.

0 සිට 9 දක්වා වූ සංඛ්‍යා රටාවලින් අංක 2ක් තෝරාගෙන, එදින නිකුත් වන ලොතරැයියේ අවසාන අංක දෙක සඳහා මෙහිදී ඔට්ටු අල්ලන බවත් මේ හේතුවෙන් බොහෝ පිරිසකට තම ඉඩකඩම් හා දේපොළ අහිමි වී අසරණ වී සිටින බවද සභාපතිවරයා සඳහන් කරයි.

ප්‍රදේශයේ පවතින ආර්ථික ක්‍රියාකාරකම් අනුව ඔට්ටු මුදල් වෙනස් වන අතර මනම්පිටිය වැනි වී අස්වැන්න නෙළන ප්‍රදේශවල කොටුවක් රුපියල් 30,000ක් දක්වාත්, රත්නපුර මැණික් ආශ්‍රිත ප්‍රදේශවල රුපියල් ලක්ෂය ඉක්මවාත් ඔට්ටු තබන බව සභාපතිවරයා සඳහන් කරයි.

ජාතික ලොතරැයි පනත යටතේ ආයතනයට නීතිය ක්‍රියාත්මක කළ හැක්කේ නීත්‍යානුකූල ලොතරැයි ඇදීම් සඳහා පමණක් වන බැවින්, මුදල් අමාත්‍යාංශයේ සෘජු සහාය නොමැතිව මීට එරෙහිව නීතිමය පියවර ගැනීම අපහසු බවද සභාපතිවරයා සඳහන් කරයි.

ලොතරැයි මණ්ඩල විසින් දිනුම් ඇදීම් සිදු කරන්නේ රාත්‍රී 7.30ට පමණ වුවද, මසකට අවශ්‍ය සියලු දිනුම් ඇදීම් එකවර සිදුකර දිනපතා නිකුත් කරන බවට ව්‍යාජ තොරතුරු ජනතාව අතර පතුරා, WhatsApp සමූහ හරහා සංවිධානාත්මකව මෙම මුදල් වංචා සිදු කරන බව හෙළිවී ඇත.

කෝප් (COPE) අනුකමිටුව හමුවට ලොතරැයි මණ්ඩල දෙකෙහි නිලධාරීන් කැඳවූ අවස්ථාවේදී සභාපති සිරිල් ඇන්තනි පෙරේරා මේ බව සඳහන් කරයි.

රටම බලාසිටින මහනුවර ඇසළ පෙරහැර අද සිට ඇරඹෙයි

රටම බලාසිටින මහනුවර ඇසළ පෙරහැර අද සිට ඇරඹෙයි

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු චාරිත්‍රය වන කප් සිටුවීම අද (13) දින පෙ.ව. 6.17ට යෙදෙන සුබ නැකතට සිදු කිරීමට නියමිතය.

අනතුරුව අගෝස්තු (17) වැනිදා දක්වා නාථ, විෂ්ණු, පත්තිනි හා කතරගම යන සිව් මහා දේවාලයන්හි අභ්‍යන්තර පෙරහැර පැවැත්වේ.

අගෝස්තු (18) වැනිදා පළමු කුඹල් පෙරහැර වීථි සංචාරය කිරීම ආරම්භ වන අතර එතැන් සිට (22) වැනිදා දක්වා එම පෙරහැර පැවැත්වේ.

අගෝස්තු (23) වැනිදා පළමු රන්දෝලි පෙරහැර වීථි සංචාරය ආරම්භ වන අතර අවසන් මහා රන්දෝලි පෙරහැර (27) වැනිදා පැවැත්වීමට නියමිතය.

අගෝස්තු (28) වැනිදා දිය කැපීමේ පෙරහැර හා දහවල් පෙරහැර පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සුගීෂ්වරට අසාධ්‍යයි.. හෘදයේ ධමනි ආශ්‍රිත රෝගයක්

සුගීෂ්වරට අසාධ්‍යයි.. හෘදයේ ධමනි ආශ්‍රිත රෝගයක්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජේ රාජරත්නම් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ,

ස්වාමීණී.. සැකකරු මේ වනවිට දින 54කට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ පසු වෙනවා. සැකකරුගේ හෘදයේ ධමනි ආශ්‍රිත රෝගී තත්ත්වයක් පවතිනවා. මේ හේතුවෙන් ධමනි තුවාල වීම් හා ලේ විෂවීම් සිදුව තිබෙනවා.

මෙම රෝගී තත්ත්වයන්ට ඔහු ප්‍රතිකාර ලබන තැනැත්තෙක්. දිගු කාලයක් බන්ධනාගාරගත වී සිටීම නිසා එම ප්‍රතිකාර නිසි පරිදි ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.

ඒ වගේම ස්වාමීණී.. සැකකරු රිමාන්ඩ් භාරයට පත්ව සිටීම නිසා ඔහුගේ එකොළොස් හැවිරිදි දියණිය දැඩි මානසික ආතතියකට ලක්ව සිටිනවා. එනිසා ඇය ප්‍රතිකාර සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සැකකරුගේ දොළොස් හැවිරිදි පුත්‍රයාගේත් මානසික ආතති තත්ත්වය උත්සන්න වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු මධ්‍යස්ථ විශාද තත්ත්වයකට පත්ව තිබෙන බව වෛද්‍යවරු ප්‍රකාශ කරන තිබෙනවා.

මෙම සැකකරු රිමාන්ඩ් භාරයට පත්ව සිටීම නිසා ඔහුගේ මවගේ මානසික තත්ත්වය ද ව්‍යාකූල තත්ත්වයකට පත්ව තිබෙනවා. මෙම සැකකරු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් පත්වුණේ, 2019 වසරේ නොවැම්බර් මස (19) වනදා.”

අනතුරුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ,

ස්වාමීනී.. මෙම සැකකරුට ඇප ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ කරුණු මීට පෙරත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබුණා. ඒවා සුවිශේෂී කරුණු සේ සැලකිය නොහැකි බව සඳහන් කරමින් ප්‍රතික්ෂේප කර ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

එම නිසා අද දින ඉදිරිපත් කරන කරුණු සුවිශේෂී කරුණු ලෙස සැලකිය නොහැකි බව අධිකරණයට දැනුම් දෙනවා. මෙම සැකකරු සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන්නේ පොදු දේපළ පනත යටතේ. විමර්ශනවලදී නවතම කරුණු අනාවරණය වෙනවා.

එම නිසා ඒ සම්බන්ධයෙනුත් වැඩිදුර විමර්ශන පැවැත්වීමට සිදුව තිබෙනවා. එනිසා සැකකරුට ඇප හිමිවීම විමර්ශනයට බාධාවක්. සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටිනවා.”

අනතුරුව දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු ලබන (25) වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කළේය.

විනිසුරු විශ්‍රාම ගැන්වීම රටේ පොදු යහපත වෙනුවෙන් ගත් තීරණයක්

විනිසුරු විශ්‍රාම ගැන්වීම රටේ පොදු යහපත වෙනුවෙන් ගත් තීරණයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර හමුවක් අද (12) දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

පැයකට ආසන්න කාලයක් සාර්ථකව පැවති මෙම සාකච්ඡාවේදී විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධව වූ 22 වන ව්‍යවස්ථා සංශෝධනය කෙරෙහි අවධානය යොමු කෙරුණු අතර ඊට අදාළව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමද සිදු කෙරිණි.

මෙහිදී ඉදිරිපත් කෙරුණු සියලු කරුණු පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳ රජයේ ස්ථාවරය සහ අධිකරණ පද්ධතියේ උන්නතිය වෙනුවෙන් රජය සැලසුම් කර තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කරන ලදී.

යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය අධිකරණයෙන් පමණක් සිදු නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය විමර්ශන, නඩු පැවරීම, අධිකරණ යන සියලු අංශ ඒකාබද්ධ ක්‍රියාවලියක් බවත් ඒ අනුව එම ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලිසිය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතනවල මානව සම්පත ඉහළ නැංවීමට රජය කටයුතු කරමින් සිටින බවත් සඳහන් කළේය.

එසේම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සේවාවන් දිස්ත්‍රික් මට්ටමින් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබෙන බවත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීම මෙන්ම ජනතාවට පහසු වන පරිදි අභියාචනාධිකරණ කටයුතු පළාත්බදව ක්‍රියාත්මක කිරීම සඳහා යටිතල පහසුකම් සැලසීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනතාවගේ අධිකරණ කටයුතු පහසු කරනු පිණිස මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීමට සහ අධිකරණ සඳහා අවශ්‍ය භෞතික පහසුකම් ලබා දීමට කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එබැවින්, විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වූ තීරණය පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් අරබයා නොව, රටේ පොදු යහපත වෙනුවෙන් ගන්නා ලද තීරණයක් බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෙම සංශෝධනය සමස්ත පද්ධතියේම ගැටලු විසඳීමේ පුළුල් ප්‍රතිසංස්කරණයන්හි එක් පුරුකක් පමණක් බවත්, එය තමාගේ පුද්ගලික මතය හෝ රජයේ තනි මතයක් නොවන බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩි කිරීම මෙන්ම විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය විරුද්ධත්වයක් නොමැති බව මෙහිදී සඳහන් කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයෝ මෙම තීරණය පිළිබඳව තවදුරටත් සලකා බලා යම් පොදු සම්මුතියකට එළඹීම සුදුසු බව යෝජනා කර සිටියහ.

හෝමූස් පාලනය අමෙරිකානු හමුදාව යටතට

හෝමූස් පාලනය අමෙරිකානු හමුදාව යටතට

අමෙරිකානු හමුදාවන්ගේ සම්පූර්ණ පාලනය යටතේ හෝමූස් සමුද්‍ර සන්ධිය පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හමුවකදී සඳහන් කරයි.

කෙසේ වෙතත් හෝමූස් සන්ධිය යළි විවෘත කිරීමට නම්, අමෙරිකානු යුද්ධය සහ අවහිර කිරීම් සම්පූර්ණයෙන්ම අවසන් කළ යුතු බවත් අත්හිටුවන ලද ඉරාන වත්කම් මුදා හැරිය යුතු බවත් කලාපීය සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ යුතු බවට ඉරානය කොන්දේසි පනවා ඇත.

මේ අතර අනතුරු ඇඟවීම් නොසලකා හරිමින් ඉරාන වරායක් වෙත ගමන් කිරීමට උත්සාහ කළ පැනමා කොඩිය යටතේ ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට මිසයිල දෙකක් අමෙරිකානු හමුදා විසින් එල්ල කර ඇත.