Local news

කාර්යාල දුම්රිය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්.!

කාර්යාල දුම්රිය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්.!

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ හෙට (10) සිට ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය කිහිපයක් සාමාන්‍ය පරිදි ධාවනය කරවීමට සැලසුම් කර ඇති බවයි.

පසුගියදා ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අඹේපුස්ස – අලව්ව අතර ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය අවහිර වීමෙන් ප්‍රධාන, උතුරු සහ නැගෙනහිර දුම්රිය මාර්ගවල දුම්රිය ධාවනය නතරවී තිබුණි.

ඒ හේතුවෙන් දුම්රිය ධාවනයවූයේ කොළඹ කොටුව සිට අඹේපුස්ස දක්වා පමණි.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ස්වේච්ඡා කණ්ඩායම් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් අඹේපුස්ස – අලව්ව අතර බුජ්ජොමුව දුම්රිය මාර්ගයේ පැවති බාධා ඉවත්කර අද දුම්රිය මාර්ගය යථාවත් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව හෙට දින උදෑසන කාර්යාල දුම්රිය ධාවනය පහත පරිදි සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

මුලතිව් දිස්ත්‍රික්කයට මහ වැසි ඇද හැලෙමින් පවතින බව වාර්තා වෙයි.!

මුලතිව් දිස්ත්‍රික්කයට මහ වැසි ඇද හැලෙමින් පවතින බව වාර්තා වෙයි.!

මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසකට ඇද හැලෙන වැසි තත්වයන් අතරින් වැඩිම වර්ෂාපතනය මුලතිව් දිස්ත්‍රික්කයෙන් වාර්තාවන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් රාත්‍රී 8.00 පැයට නිකුත්කරන ලද නිවේදනයේ සඳහන් වෙයි.

මුලතිව් දිස්ත්‍රික්කයේ අලපිලි ගොවිජන සේවා මධ්‍යස්ථානය ආශ්‍රිතව මෙම මි.මී 135.5ක වාර්ෂාපතනයක් ලැබී ඇති බව එම මධ්‍යස්ථානය නිකුත්කළ නිවේදනයේ සඳහන්.

මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයේ සාලව ප්‍රදේශයට මි.මී 108.5ක් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනරීන් ප්‍රදේශයට මි.මී 102.5ක වර්ෂාපතනයක් ලැබී තිබේ.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවල ප්‍රදේශයට මි.මී 72.5ක වර්ෂාපතනයක් ලැබී ඇති බව සඳහන්ය.

ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ, අවිස්සාවෙල්ල පෙන්රිත් වත්ත ප්‍රදේශයට මි.මී 50.5ක වර්ෂාපතනයක්, බදුල්ල – වැලිමඩට වැවේගම ප්‍රදේශයට මි.මී 50.40ක් සහ මාතර මාකඳුර ප්‍රදේශයට මි.මී 50ක වර්ෂාපතනයන් ලැබී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් වැඩිදුරටත් සඳහන් කරයි.

රැවටෙන්න එපා.. රජයෙන් ජනතාවට දැනුම්දීමක්.!

රැවටෙන්න එපා.. රජයෙන් ජනතාවට දැනුම්දීමක්.!

රටේ ආපදාවට පත් වූ ජනතාවට සහන සලසන බවට ප්‍රකාශ කරමින් සහ ආපදාවට පත්වූවන්ගේ පුද්ගලික තොරතුරු රැස් කරමින් කෙටි පණිවිඩ රාශියක් WhatsApp, Facebook ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවට නිරීක්ෂණය වී ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

එනිසා එවැනි ව්‍යාජ පණිවිඩ සඳහා නොරැවටෙන ලෙසත් එවන් පාර්ශව වෙත තම පුද්ගලික තොරතුරු හුවමාරු කිරීමෙන් වැළකී සිටින ලෙසද කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය දැනුම්දී ඇත.

සියලු ජනතාව දුෂ්කර තත්ත්වයකට මුහුණ දෙමින් සිටින කාල පරාසයක් තුළ ඔවුන් නැවත වරක් වින්දිතයින් බවට පත්කිරීම වැළැක්වීමේ අරමුණින් එවන් වංචනික ක්‍රියා සහ ජාවාරම් සිදු කරන පුද්ගලයන් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

ආපදා සහන සේවා සැපයීම සඳහා අවශ්‍ය දත්ත රැස්කිරීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා අනුයුක්ත කර ඇති ක්ෂේත්‍ර නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන් හරහා විධිමත්ව සිදුකරන බවද කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි. 

ගිං ඔයට කඩා වැටුණු හෙලිකොප්ටරයේ සහාය නියමුවා එදින සිදුවීම අධිකරණයට පවසයි.!

ගිං ඔයට කඩා වැටුණු හෙලිකොප්ටරයේ සහාය නියමුවා එදින සිදුවීම අධිකරණයට පවසයි.!

අද (09) අධිකරණය හමුවේ ප්‍රකාශයක් සිදුකරමින් වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේදී  ගිං ඔයට කඩා වැටුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 ගුවන් යානයේ සහාය ගුවන් නියමු ලෙෆ්ටිනන් එරංග චාමර ඒකනායක සඳහන් කළේ ඒ මොහොතේ යානයේ කාර්මික දෝශයක් පැවති බවට තමන්ට සහ ප්‍රධාන ගුවන් නියමුවාට වැටහුණු බවයි.

ඊට අදාළ නීති කෘත්‍ය මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (8) කැඳවු අවස්ථාවේදී සහාය නියමුවා මේ බව සඳහන් කළේය. යානය කඩාවැටීමට අදාළ නීති කෘත්‍ය ඊයේ විභාගයට ගැනුණි.

ඉකුත් නොවැම්බර් 30 වැනිදා මෙරට ඇතිව තිබූ අයහපත් කාලගුණ තත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයකින් මෙහෙයුම් සිදුකරමින් සිටින අතරතුර එය වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේදී අවාසනාවන්ත ලෙස ගිංඔයට කඩාවැටී එහි ප්‍රධාන නියමුවා ජීවිතක්ෂයට පත් විය.

එහිදී අනතුරට පත් හෙලිකොප්ටර් යානයේ සහායක ගුවන් නියමු ලෙෆ්ටිනන් එරංග චාමර ඒකනායක මහතා අධිකරණය ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් මෙලෙස ප්‍රකාශ කළේය.

”ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ලද නියෝගයකට අනුව විපතට පත්වූවන්ට වියළි ආහාර ලබාදීමට පසුගිය 30 වැනිදා හවස 5ට විතර අපි කටුනායක ගුවන් හමුදා කඳවුරෙන් බෙල් 212 හෙලිකොප්ටර් යානයෙන් ගුවන්ගත වුණා. වෙන්නප්පුවට ඉහළ අහසේ සිට යානය තරමක් පහත් කරනවාත් සමඟම ගිං ඔය පාලම මත සහ ඒ අවට සිටි පිරිස් දෑත් වනමින් අධාර ඉල්ලා සිටියා. පාලම මතට හෝ මාර්ගය මතට යානය ගොඩබැස්සවීමට හැකියාව තිබුණේ නැහැ. ඊට හේතුව පාලම මත විශාල පිරිසක් සිටීම සහ ඒ අසළින් අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් පැවතීමයි. කෙසේවෙතත් අපි එහිදී  අත වනමින් සිටි ජනතාවට වියළි ආහාර සහිත පැකට් පාර්සලයක් මුදාහැරියා.  සුදුසු ස්ථානයක යානය ගොඩබැස්වීමට උත්සාහ කළ අවස්ථාවේදී එහි කාර්මික දෝශයක් පවතින බවට ප්‍රධාන ගුවන් නියමු නිර්මාල් සියඹලාපිටියට සහ මට හැඟීගියා. ආපදාවක් නොමැතිව සුදුසු ස්ථානයකට ගොඩබැස්වීමට උත්සාහ කරමින් ප්‍රධාන ගුවන් නියමුවා යානය  හරවනවාත් සමගම එය එක්වරම ගිං ඔයට කඩාවැටුණා. මහත් පරිශ්‍රමයකින් ඉන් පිටතට පැමිණි මමත් සෙසු ගුවන් හමුදා සාමාජිකයින් තිදෙනාත්, සිරවී සිටි ප්‍රධාන ගුවන් නියමුවාගේ බඳ පටි ඉවත් කර කඩිනමින් ඔහු මාරවිල මූලික රෝහලට පිටත්කර යැව්වා”

ඉදිරිපත් වූ සාක්ෂි සළකා බැලූ මාරවිල මහේස්ත්‍රාත් දිනිඳු සමරසිංහ මහතා විමර්ශන තවදුරටත් විධිමත් කරන ලෙසට උපදෙස් ලබාදුන් අතර විමර්ශනවල ප්‍රගතිය විමසීම සඳහා නඩුව නැවත කැඳවීමටද නියෝග කළේය. 

මෙරට නාවික ඉතිහාසයේ ඓතිහාසික සන්ධිස්ථානයක්.!

මෙරට නාවික ඉතිහාසයේ ඓතිහාසික සන්ධිස්ථානයක්.!

ශ්‍රී ලංකා නාවික හමුදාව අද (09) දින මෙරට නාවික ඉතිහාසයේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සහ නාවික හමුදාවේ 75 වන සංවත්සරය සමරමින්, අකුරේගොඩ පිහිටි ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ අභිනව නාවික හමුදා මූලස්ථානය නිල වශයෙන් ස්ථාපනය කරනු ලැබීය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් විචිත්‍රවත් උත්සවයක් පවත්වන ලද අතර, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේය.

එහිදී නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව, නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ විසින් නියෝජ්‍ය අමාත්‍යවරයා පිළිගත් අතර ඔහු වෙත හමුදා උත්තමාචාරයද පිරිනමන ලදි.

එහිදී අදහස් දැක් වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙම අභිනව නාවික හමුදා මූලස්ථානය ආරක්ෂක නවීකරණයේ ප්‍රධාන පියවරක් වශයෙන් ඇගයීමට ලක් කළ අතර, ‘දිට්වා ‘ සුළි කුණාටුව හේතුවෙන් මෙරටට බලපෑ ආපදා තත්ත්වය තුළ සහ විශේෂයෙන්ම කලාඔය ප්‍රදේශයේ සිදුකල මුදා ගැනීමේ මෙහෙයුම්වල දී නාවික හමුදාවේ අප්‍රතිහත ධෛර්යය සහ වෘත්තීය නිපුණත්වය ප්‍රශංසාවට ලක් කළේය.

එසේම, මේ දක්වා නාවික හමුදාව විසින් සිදුකල මෙහෙයුම් වලදී සිය ජිවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කළ සහ තවමත් අතුරුදහන්ව සිටින සියලු නාවික හමුදා සාමාජිකයන් වෙත ඔහු සිය උපහාර පුද කලේය.

ආරක්ෂක මුලස්ථාන සංකීර්ණයේ පිහිටි මෙම නවීනතම මූලස්ථාන පරිශ්‍රය ඔස්සේ, වසර 75ක් පුරාවට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සිදු වූ අඛණ්ඩ පරිණාමය පිළිබිඹු කරමින් සම්බන්ධීකරණය ශක්තිමත් කරන අතරතුර එහි මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නංවනු ඇත.

වාර විභාගය අවලංගුයි.. උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න.!

වාර විභාගය අවලංගුයි.. උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න.!

අයහපත් කාලගුණය හේතුවෙන් 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නොපැවැත්වූ විෂයන් එළැඹෙන ජනවාරි මස (12) වැනිදා නැවත ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

සියලු පාසල්වල තෙවන වාර විභාගය අවලංගු කිරීමටත් පාසල් 9,926ක් එළැඹෙන දෙසැම්බර් (16) වැනිදා සිට නැවත ආරම්භ කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ආපදා තත්ත්වයට මුහුණ දුන් පාසල් 147ක් මේ වනවිට ආරම්භ කළ නොහැකි මට්ටමේ පවතින අතර පළාත් වශයෙන් ලබා දෙන ඉදිරි තහවුරු කරගැනීම් වලදි සිදු විය හැකි සංඛ්‍යාමය වෙනස් වීම් සම්බන්ධයෙන් නිරන්තරයෙන් නිල දැනුවත් කිරීම් සිදු කරයි.

මේ වසරේ මෝටර් සයිකල් 223,423ක් ලියාපදිංචි කරලා.!

මේ වසරේ මෝටර් සයිකල් 223,423ක් ලියාපදිංචි කරලා.!

වසරේ මේ දක්වා කාලය තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වැඩිම ප්‍රමාණයක් ලියාපදිංචි කර ඇත්තේ යතුරුපැදි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පැවසුවේ යතුරුපැදි පමණක් 223,423ක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවය. 

ඉන් පසුව මෝටර් රථ 55,338ක් ද, ත්‍රීරෝද රථ 13,850ක්ද, මෙම කාණ්ඩ සියල්ලම ආවරණය වන පරිදි විද්‍යුත් වාහන 35,268ක්ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

මෙම වාහන ආනයනය කිරීමත් සමග මෙම වසරේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ලබා දී ඇති ආදායම් ඉලක්ක සපුරාගෙන ඇතැයිද පැවසූ ඒ මහතා සඳහන් කර සිටියේ දෙපාර්තමේන්තුවට මෙම වසරේ ඉලක්කය ලෙස රුපියල් බිලියන 16ක ඉලක්කයක් ලබා දුන් බවත් එම ඉලක්කය ඉක්මවා පසුගිය නොවැම්බර් 30 වන විට රුපියල් බිලියන 17.8ක  ප්‍රමාණයක් වාර්තා කිරීමටද දෙපාර්තමේන්තුව සමත් වූ බවය.

එළැඹෙන වර්ෂය සඳහා රුපියල් බිලියන 18ක ආදායම් ඉලක්කයක් මහ භාණ්ඩාගාරය විසින් දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇතැයිද එම ඉලක්කයද සපුරා ගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට හැකියාව ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය. 

රට වට බැඳි රන් වැට.. අභිමානවත් 75 වැනි සංවත්සරය සමරයි.!

රට වට බැඳි රන් වැට.. අභිමානවත් 75 වැනි සංවත්සරය සමරයි.!

අද (09) දින ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වැනි සංවත්සරය අභිමානවත්ව සමරන ලද අතර එහිදී නාවික හමුදා නිලධාරීන් 2,086ක් වෙත උසස්වීම් පිරිනමා ඇත.

ඒ අනුව නිලධාරීන් 17 දෙනෙකු ඊළඟ නිලය වෙතත්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 2069 දෙනෙකු ඊළඟ තරාතිරම් වෙතත් උසස් කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කර ඇත.

මත් රකුසාගෙන් ලක්මව බේරාගැනීම වෙනුවෙන් නොනවතින මෙහෙයුමක යෙදන සහ දිට්වා සුළි කුණාටුවෙන් වැටුණු රට යළි නගාසිටුවීමට පැය 24 පුරාම ක්‍රියාත්මක ශ්‍රී ලංකා නාවික හමුදාවට අපගේ උත්තමාචාරය.

දිට්වා රටට කල විනාශය ගැන එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙන් නවතම වාර්තාවක්.!

දිට්වා රටට කල විනාශය ගැන එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙන් නවතම වාර්තාවක්.!

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25කට බලපෑම් එල්ල කරමින් බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ගංවතුර හේතුවෙන් සිදුවු හානිය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නවතම වාර්තාවක් එළිදක්වා තිබේ.

එම නව භූගෝලීය විශ්ලේෂණයෙන් අනාවරණය වී ඇත්තේ, සුළි කුණාටුවෙන් ඇති වූ ගංවතුර ජලය හෙක්ටයාර මිලියන 1.1කට වඩා වැඩි ප්‍රමාණයකට බලපෑම් සිදුකර ඇති බවය.

ඒ අනුව රටෙහි සමස්ත භූමි ප්‍රමාණයෙන් සියයට 20ක් එසේත් නොමැති නම් පහෙන් එකක ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇති අතර, නිවාස, යටිතල පහසුකම් හා අත්‍යවශ්‍ය සේවාවන්ට සැලකිය යුතු හානියක් සිදුකර ඇති බවටත් මෙහිදී අනාවරණය වී තිබේ.

මේ අතර දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ගංවතුරට ලක්වූ ප්‍රදේශවල මිලියන 2.3කට ආසන්න ජනතාවක් ආපදාවට ලක්ව ඇති බවත් ඉන් අඩකඩ වඩා කාන්තාවන් වන බවත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අනාවරණය කර ඇත.

සුළි කුණාටුව බිළිගත් ජීවිත ගණන ඉහළ⁣ට.!

සුළි කුණාටුව බිළිගත් ජීවිත ගණන ඉහළ⁣ට.!

දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 638ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

පුද්ගලයින් 191ක් තවමත් අතුරුදන්ව ඇති බවත් වැඩිම මරණ සංඛ්‍යාවක් වන මරණ 234ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

තවද පවුල් 501,958කට අයත් පුද්ගලයින් 1,737,330ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

✕
⌃ News
📰 Free News Subscription?