ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල එම ප්‍රතිශතයෙන්ම ඉහළ නංවා නොමැති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.
පෞද්ගලික ඉන්ධන සමාගම් ඉන්ධන සැපයුම සීමාකර පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කිරීමට කටයුතු කළහොත්, ඊට එරෙහිව නීත්‍යානුකූලව ගත හැකි සියලු පියවර ගන්නා බවද අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.
අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ,
“රුපියල් දහයක තෙල් මිල වැඩි වෙනකොට, රුපියල් හැත්තෑවක සහනාධාරයක් රජය හැටියට ලබා දීලා තියෙනවා කියන එක කවුරුත් කතා කරන්නේ නෑ. අනිත් එක තමයි, පෙබරවාරි මාසයට සාපේක්ෂව ලෝකයේ මේ වෙනකොට කොච්චර ප්‍රතිශතයකින් තෙල් මිල ඉහළ ගියාද කියන එක.
ඒවා කල්පනා කරන්නේ නැතුව තමයි සමහර ප්‍රශ්න සමාජයෙන් අහන්නේ. ඉතින් එහෙම බැලුවහම, අපි ලෝක වෙළඳපොළට සාපේක්ෂව ඒ ප්‍රමාණයටම තෙල් මිල වැඩි කරලා නෑ.
ඒ වගේම තමයි අපි කලින් සැරේ බිලියන පනස් හතක් වෙන් කළා සහනාධාර ලබා දෙන්න. දැන් ඉදිරි මාස තුන සඳහා බිලියන හතළිස් එකක් සහනාධාර සඳහා වෙන් කරලා තියෙනවා. එතකොට, මේ වැඩි වෙච්ච තෙල්වල මිලෙන් කොටසක් අපි රජය හැටියට සහනාධාර ලෙස අවශෝෂණය කර ගන්නවා.
ඒ වගේම, ඉතිරි කොටසෙන් කොටසක් අපි අදාළ සමාගම්වලට කියනවා, අපි මේ ඉන්නේ දුෂ්කර අවස්ථාවක, ඉතා විශාල වශයෙන් තෙල් මිල වැඩි කරන්න පුළුවන් කාලයක් නෙමෙයි, ඒ නිසා ඔවුන් ඒකෙන් කොටසක් දරාගන්න ඕනේ කියලා. ඒකෙන් සුළු කොටසක් තමයි ඉන්ධන පාරිභෝගිකයාට ලබා දෙන්නේ.
මේ දවස්වල සමහර පෞද්ගලික ඉන්ධනහල් සම්බන්ධයෙන් විශාල කතාබහක් තියෙනවා. ඔවුන් තෙල් සැපයුම සීමා කරලා තියෙනවා. අපි ඒගොල්ලන්ට කියන්න ඕනේ, ඒගොල්ලෝ කියන විදිහට මිල වැඩි කරලා ඉන්ධන පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කරන්න අපි කිසිසේත්ම සූදානම් නැහැ කියලා.
ඒ නිසා, අදාළ ගිවිසුම්වලට අනුව, තමන්ගේ මිල සූත්‍රයට සහ පිරිවැය පාදක කරගෙන මිලකරණයකට යන්න ඒගොල්ලන්ට අවස්ථාව තියෙනවා. කැමති නම් ඒක භාවිතා කරාට කමක් නැහැ.
මෙහිදී, හැබැයි ඒගොල්ලෝ දිගින් දිගටම ඉන්ධන සැපයුම සීමා කරලා ඉන්ධන පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කරනවා නම්, නීත්‍යානුකූලව අපිට ගන්න පුළුවන් පියවර ටික ගැනීමට අවධානය යොමු කරලා තියෙනවා.
අවසානයේදී, මේ අය මෙතනට ගේනකොට කිව්වේ, තරගකාරී වෙළඳපොළකින් ඉන්ධන පාරිභෝගිකයන්ට සාධාරණයක් කරන්න පුළුවන් කියලා.
නමුත් මේ පෞද්ගලික අංශයේ මැදිහත්වීම දැන් වෙලා තියෙන්නේ, ඒගොල්ලන්ගේ බලපෑම නිසා විශාල වශයෙන් ඉන්ධන මිල ඉහළ දමන්න කියන බලපෑමක් කිරීමයි. රජයක් හැටියට අපි කීයටවත් ඒකට ඉඩ දෙන්නේ නැහැ.
සාමාන්‍යයෙන් ආයෝජකයන් අපහසුතාවයට පත් කරන එක නෙමෙයි අපේ බලාපොරොත්තුව. ඒ වගේම, ඉන්ධන පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කරන එකත් අපේ කාර්යභාරය නෙමෙයි.“

