ඥනසාර හිමිගේ අවසන් ඉල්ලීම

LIVE

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා වලට වැරදිකරු වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමිට නියම කරන ලද බරපතළ වැඩ සහිත වසර 06ක සිර දඬුවමෙන් ගෙවීමට ඇති ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියම කළේය.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය විසින් නිකුත් කරනු ලැබූ විවෘත වරෙන්තුව මත අත්අඩංගුවට ගත් ගලගොඩ අත්තේ ඥානසාර හිමිව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

එහිදී ඥානසාර හිමි වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුදත් ජයසුන්දර අධිකරණය හමුවේ සඳහන් කළේ,

“ස්වාමීනී., වගඋත්තරකාර හිමි පසුගිය දිනවල මානසික වශයෙන් බිඳ වැටී රෝගාතුර තත්ත්වයකට පත්වුණා. ඉන් අනතුරුව නායක හිමිවරුන්ගේ උපදෙස් මත උන්වහන්සේ ආරණ්‍ය සේනාසනයක රැඳී සිටියා. මානසික වශයෙන් විවේකයක් ලබාගැනීම සඳහායි එහි රැඳී සිටියේ. එසේ නොමැතිව අධිකරණය මග හැරයාමේ චේතනාවක් උන්වහන්සේ තුළ තිබුණේ නැහැ.“

එම අවස්ථාවේදී විනිසුරු ලක්මාලී කරුණානායක ප්‍රශ්න කළේ,

“එසේ නම් වගඋත්තරකරු නීතිඥවරුන්ට අවශ්‍ය උපදෙස් ලබාදීමට කටයුතු නොකළේ ඇයි.?”

අනතුරුව නීතීඥවරයා සඳහන් කළේ,

“ස්වාමීනි., වගඋත්තරකාර හිමියන් රැඳී සිටි ස්ථානයේ දුරකථන සංඥා (Signal) දුර්වල තත්ත්වයකයි තිබුණේ. ඒ නිසයි නීතිඥවරු සම්බන්ධ කරගෙන උපදෙස් ලබාදෙන්න බැරි වුණේ.”

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජිත පෙරේරා අධිකරණය හමුවේ සඳහන් කළේ,

“වගඋත්තරකාර ඥානසාර හිමියන්ට 2018 වසරේ අභියාචනාධිකරණය විසින් සිර දඬුවම් නියම කළා. ඉන් අනතුරුව 2019 වසරේ මැයි මස 23 වැනිදා උන්වහන්සේට ජනාධිපතිවරයා විසින් සමාව ප්‍රදානය කළා.

එහෙත් එම ජනාධිපති සමාව අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, වගඋත්තරකාර හිමියන්ට ප්‍රදානය කරන ලද සමාව නීතිය ඉදිරියේ බල ශූන්‍ය බවට ඉකුත් සැප්තැම්බර් (10) වනදා තීන්දුවක් ලබා දුන්නා.

ඒ අනුව තමයි මේ මෝසම ඉදිරිපත් කිරීමට අප කටයුතු කළේ. මේ අවස්ථාවේ අප අධිකරණයෙන් ඉල්ලා සිටිනවා ඥානසාර හිමියන්ට නියම කරන ලද සිර දඬුවමට අයත් ඉතිරි දඬුවම් කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙස.“

අනතුරුව නීතිඥ සුදත් ජයසුන්දර, සිය සේවාදායක හිමියන්ට අධිකරණය හමුවේ කෙටි කරුණු දැක්වීමක් සිදු කිරීම සඳහා අවසර ලබාදෙන ලෙස ඉල්ලීමක් කළේය.

එහිදී ඥානසාර හිමි වෙනුවෙන් නීතිඥවරයකු කරුණු දක්වා තිබෙන බැවින් එම ඉල්ලීමට අවසර දිය නොහැකි බව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් සඳහන් කළේය.

අනතුරුව ඥානසාර හිමියන්ට නියම කරන ලද සිර දඬුවමින් ගෙවීමට නියමිත ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයාට නියෝග කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, ඥානසාර හිමියන්ගේ ආරක්ෂාව සහ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසද නියෝග කළේය.

මේ අතර සිරදඬුවම් නියම වී බන්ධනාගාරගත කෙරුණු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත සිරකරුවන් සඳහා නියමිත ඇඳුම (ජම්පරය) ලබාදී ඇති අතර උන්වහන්සේ සාමාන්‍ය සිරකරුවන් රඳවා සිටින වාට්ටුවක රඳවා තැබීමට පියවර ගෙන ඇත.

0 Comments
Most Voted
Newest Oldest