සංවිධානාත්මක අපරාධකරු ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ නඩුකරය අද (12) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබුවේය.
එහිදී අත්අඩංගුවට ගත් ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් ‘ගම්පහ ඔස්මන්ඩ්’ නමැත්තා තවදුරටත් රැඳවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශන සිදු කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය අද (12) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
සෝදිසි වරෙන්තුවක් ලබාගෙන ඔස්මන්ඩ් ගුණසේකර නමැත්තාගේ නිවස හා භූමිය පරීක්ෂා කළ අවස්ථාවේදී එහි තිබී ලේඛන කිහිපයක් හමු වූ බවත් ඒ අතර කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ රතු නිවේදනය තිබූ බව පොලිසිය සඳහන් කරයි.
ගණේමුල්ල සංජීව නමැත්තාට පෙර තිබූ නඩු, දැනට පවතින නඩුවල විස්තර සහ ඔහු ආශ්‍රය කළ පුද්ගලයින් මෙන්ම දුරකථන අංක සම්බන්ධයෙන් ලේඛනයක් ඒ අතර තිබී හමුවූ බවත් මේ තුළින් ගණේමුල්ල සංජීව නමැත්තාගේ ක්‍රියාකාරකම් පිළිබඳව මෙම සැකකරු අවදියෙන් සිට ඇති බව පැහැදිලි වන බවද පොලීසිය සඳහන් කරයි.
තවද එම සැකකරුගේ නිවාස භූමියේ තිබී ලියාපදිංචි නොකළ යතුරුපැදියක් සහ ගිනි අවියක් හමුවූ බවත් ඒවා පිළිබඳව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන බවද පොලීසිය සඳහන් කරයි.
මෙම සිද්ධියේ ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය තවදුරටත් දින 30 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගෙන තිබෙන බවද පොලිසිය සඳහන් කරයි.
මේ අතර මීළඟ නඩු දිනයේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාට අධිකරණයේ පෙනී සිට කරුණු දක්නට ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
ඉන්තරුව මෙම පැමිණල්ල ලබන (26) වනදා කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
