Advertisements

කපිලගේ දුරකථනය සහ හඳුනා නොගත් බෙහෙත්.?

සැකකටයුතු ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (12) දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ පවත්වා ඇත.

එහිදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් විමර්ශන වල ප්‍රගතිය අධිකරණයට වාර්තා කර ඇති අතර වැඩිදුර වාර්තාව සමග පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ ඇමුණුම් දෙකක් පොලීසිය අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

කොළඹ අපරාධ කොට්ඨාශ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම මරණකරුගේ ශරීරයෙන් ලබාගත් ලේ සාම්පල් දෙකක් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙස ඉල්ලා ඇත.

සැකකරුගේ ජංගම දුරකථනයේ මුරපදය වශයෙන් ඔහුගේ මුහුණ සටහන්ව ඇති නිසා එය විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවත් එම නිසා අදාළ ජංගම දුරකථනය එය නිෂ්පාදනය කළ සමාගමට හෝ නිසි ආයතනයට යොමු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට නියෝග නිකුත් කරන ලෙසද ඉල්ලා ඇත.

තවද අපරාධ ස්ථානයේ තිබී සොයාගත් මරණකරුගේ ගෙල බැඳි පටිය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබේදැයි ප්‍රශ්න කර ඇති අතර එය නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් එය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන බවද පොලීසිය සඳහන් කර ඇත.

අනතුරුව මහේස්ත්‍රාත්වරයා ‘සිද්ධිය වූ ස්ථානයේ ඖෂධ වගයක් තිබුණා. ඒ වගේම කඩදාසියක හේතු හඳුනා නොගත් බෙහෙත් වගේකුත් තිබුණා. ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළාද.?’ යනුවෙන් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ගෙන් විමසා ඇත. 

එහිදී පිළිතුරු දෙමින් කොළඹ අපරාධ කොට්ඨාශයට නිලධාරීන් පවසා ඇත්තේ, එම ඖෂධ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ වෛද්‍ය මණ්ඩලය වෙත යොමු කළ බවයි.

අනතුරුව මෙම ඖෂධ මෝසමක් මාර්ගයෙන් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට ඉල්ලීමක් කරන බවත් පොලීසිය පවසා ඇති අතර පසුව පොලීසිය විසින් කළ ඉල්ලීම්වලට අධිකරණය විසින් අවසර ලබාදී ඇත.

වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම ලබන (14) වනදා දක්වා කල් තබා ඇත.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest