අසත්‍ය, පදනම් විරහිත, ද්වේශ සහගත චෝදනා මගින් තමාගේ කීර්තිනාමයට මහත් වූ හානියක් සිදුවූ බවත් තමා කෙරේ ඇති මහජන විශ්වාසය ගරුත්වය සහ පිළිගැනිම විනාශ කිරිමේ අරමුණින් එම ප්‍රකාශය සිදුකර ඇති බව පවසමින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න විසින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධනට එරෙහිව රුපියල් බිලියන 10ක වන්දි මුදලක් ඉල්ලා එන්තරවාසියක් යවා ඇත.
2026 අප්‍රේල් මස (27) වන දින හෝ ඊට ආසන්න දිනයක සමගි ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජන හමුවක දී ප්‍රසාද් සිරිවර්ධන විසින් මෙම ද්වේශ සහගත, අසත්‍ය චෝදනාව එල්ල කර ඇති බවත් එම සියලු චෝදනා කිසිදු තහවුරු කිරිමකින් තොරව හා හුදෙක් තමාගේ ප්‍රතිරූපයට හා කීර්තිනාමයට හානිකිරිම ප්‍රමුඛ අරමුණ සහිතව සිදු කරන ලද ප්‍රකාශයක් බවද අදාල එන්තර වාසිය මගින් පෙන්වා දී ඇත.
එනිසා ද්වේශසහගත හා අසත්‍ය චෝදනා ඇතුලත් අසත්‍ය ප්‍රකාශය හේතුවෙන් තමාට අත්විඳීමට සිදුවු අපකීර්තිය, ලැජ්ජාව සහ අපහාසය වෙනුවෙන් අලාභය ලෙස එන්තරවාසිය ලැබි දින 14ක් ඇතුලත මෙම රුපියල් බිලියන 10ක මුදල ගෙවන ලෙස දැනුම් දී ඇත.
එමෙන්ම අදාල දින 14 ඇතුලත එම මුදල් ගෙවිමට අපොහොසත් වුවහොත් සිවිල් උසාවියක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධනට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවද අදාල එන්තරවාසිය මගින් සඳහන් කර ඇත.
