හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ, උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ දිලිත් ජයවීර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර විමර්ශනයට බාධා කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (08) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙයි.
සුරේෂ් සලේ අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට මේ දක්වා විමර්ශන කටයුතු සදහා සාධනීය සහයක් ලබා නොදෙමින් කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
සුරේෂ් සලේ මුල් අවස්ථාවේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අනීතිකව චෝදනා කරමින් කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
සැලසුම් සහගතව ආහාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පොලිස් රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා විසින් අවස්ථා දෙකකදී සැකකරු පරීක්ෂා කර රුධිරයේ සීනි මට්ටම අඩුවී ඇතැයි තහවුරු කිරීමෙන් පසුව ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව ගොනුකළ වාර්තාවේ සඳහන් වේ.
සාධනීය, අතිශය සංවේදී කරුණු විමර්ශනයේදී අනාවරණය වෙමින් තිබියදී ඊට බාධා කරමින් හා තවදුරටත් සාක්ෂිකරුවන් කරුණු හෙලිදරව් කිරීම වැළැක්වීමේ අරමුණින් එම සැකකරු චේතනාන්විතව කටයුතු කරමින් සිටින බවද සඳහන් කරයි.
විමර්ශන නිලධාරීන් කෙරෙහි මහජනයා තුළ වෛරී හැඟීමක් හා අප්‍රසාදයක් ඇතිකර මෙම විමර්ශනයට එරෙහිව ජනතාව රැස්කර පොලිස් දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, හා විමර්ශන නිලධාරීන්ගේ විශ්වසනීයත්වය කෙරෙහි මහජන විරෝධතාවයක් ඇතිකරවීමට සැළසුම් සහගතව කටයුතු කරමින් සිටින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.
එම සැළසුම් සහගත ක්‍රියාදාමය උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ දිලිත් ජයවීර ඇතුළු දේශපාලනයට සම්බන්ධ පුද්ගලයින්ගේ මෙහෙයවීම මත සිදුකරනු ලබන බවටත් පැහැදිලිව නිරීක්ෂණය වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
