විමල්ට එරෙහිව වාරණ නියෝගයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව කඩුවෙල දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් පනවා ඇත.

සිය කීර්ති නාමයට හානි වන අයුරින් අසත්‍ය ප්‍රකාශ සිදු කළේ යැයි පවසමින් දිවයිනේ ජනප්‍රිය මෙන්ම ප්‍රමුඛ සමාගමක් විසින් ගොනු කරන ලද පැමිණිල්ලකට අනුව විමල් වීරවංශට එරෙහිව මෙම වාරණ නියෝගය පනවා ඇත.

2026 වසරේ පෙබරවාරි, අප්‍රේල් සහ මැයි මාසවල පෞද්ගලික රූපවාහිනී නාළිකාවක විකාශය වූ වැඩසටහනක් හරහා විමල් වීරවංශ සෘජුව හා වක්‍රව අදාළ සමාගමට අපහාසාත්මක ප්‍රකාශ සිදුකොට ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.

මේ හේතුවෙන් අදාළ වාරණ නියෝගයට අමතරව සිය සමාගමේ කීර්තිනාමයට වූ හානිය වෙනුවෙන් රුපියල් බිලියන හයක වන්දියක් විත්තිකරුගෙන් අය කර දෙන ලෙසද පැමිණිලිකාර සමාගම අධිකරණයෙන් ඉල්ලා ඇත.

පැමිණිලිකාර සමාගමට අදාළව මෙතෙක් කළ ප්‍රකාශ නැවත පළකිරීම, හෝ පැමිණිලිකරු සම්බන්ධව කිසිදු අසත්‍ය නොමඟ යවනසුලු හෝ අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කිරීම, ප්‍රසිද්ධ කිරීම වළකාලමින් නියෝගය පනවා ඇත.

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කඩුවෙල දිසා අධිකරණය විමල් වීරවංශට එරෙහිව මෙම වාරණ නියෝගය නිකුත් කළ අතර මෙම නඩුව ජූනි (26) දින නැවත කැඳවීමට නියමිතය.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest