තම රූපය සහ හඬ යොදාගනිමින් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන සියලු වීඩියෝ මුළුමනින්ම ව්‍යාජ ඒවා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.
සමාජ මාධ්‍ය සහ WhatsApp මාර්ගයෙන් විවිධ මූල්‍ය හා ආයෝජන ක්‍රම ප්‍රවර්ධනය කරමින් හුවමාරු වන මෙවැනි අසත්‍ය වීඩියෝ වලට හසු නොවන ලෙසද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.
අදහාගැනීමටත් නොහැකි තරම් අධික ලාභ ලබාදෙන බවට පොරොන්දු වන මෙවැනි වංචනික මූල්‍ය ජාවාරම්වල කිසිදු සත්‍යතාවක් නොමැති බව තේරුම් ගැනීමට තරම් මූලික බුද්ධියක් සහ මූල්‍ය සාක්ෂරතාවක් ජනතාවට තිබිය යුතු බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ,
“මගේ රූපරාමු සහ කටහඬ නිර්මාණය කරමින් විවිධ ආයෝජන ක්‍රමවේද ප්‍රවර්ධනය කරන ව්‍යාජ වීඩියෝ රැසක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව මම දැනුවත්. මගේ කිසිදු සම්බන්ධයක් ඒවාට නැහැ. මම කිසිම ආයෝජකයෙකු හෝ එවැනි දේවල් ප්‍රවර්ධනය කිරීමට පෙනී සිටින්නේ නැහැ. මෙවැනි වීඩියෝ දුටු විගස ඒවා ව්‍යාජ බව ඔබ වටහාගත යුතුයි.”
කොළඹ කොටස් වෙළෙඳපොළේ පැවති උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළාය.
