රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

LIVE

ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය ස්වකීය විශිෂ්ට සාහිත්‍ය නිර්මාණකරණයෙන් සුපෝෂණය කළ සාහිත්‍යධරයන් සම්මානයෙන් පුදනු ලබන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2026 ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (08) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය එක්ව 67වෙනි වරටත් රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ සංවිධානය කර තිබූ අතර, 2025 වසරේ ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රයට ස්වකීය විශිෂ්ට නිර්මාණ දායකත්වයෙන් කළ සේවය අගයමින් ඉසව් 50කට අධික සංඛ්‍යාවකගෙන් ලේඛක ලේඛිකාවෝ රැසක් මෙහිදී රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබූහ.

මීට අමතරව, සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් සාහිත්‍යකරණයෙහි නිරත වෙමින්, මෙරට සාහිත්‍ය ක්ෂේත‍්‍රයට අනුපමේය සේවයක් ඉටු කළ සාහිත්‍ය නිර්මාණකරුවන් තිදෙනෙකුට ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන “සාහිත්‍යරත්න” ගෞරව සම්මානය පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

සිංහල මාධ්‍ය වෙනුවෙන් කිවියර පරාක්‍රම කොඩිතුවක්කු මහතා ද, දෙමළ මාධ්‍ය වෙනුවෙන් කිවියර සෝමසුන්දරම්පිල්ලේ පද්මනාදන් මහතාද, ඉංගී‍්‍රසි මාධ්‍ය වෙනුවෙන් සම්මානනීය මහාචාර්ය ඊ.ඒ. ගාමිණී ෆොන්සේකා මහතාද මෙලෙස එම සම්මානයෙන් පිදුම් ලැබූහ.

2026 වසරේදී සාහිත්‍ය සම්මානයට පාත්‍ර වූ ග්‍රන්ථ කට්ටලය, සමරු කලාපය සහ සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාත්‍රයෙන් ලියැවුණු 2026 සාහිත්‍ය කලාපයද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

0 Comments
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?