රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ අත්අඩංගුවට ගන්නා විට පැවති කන් ආබාධයට කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කර ප්‍රතිකාර ලබා දී ඇති අතර ඔහුගේ ගැලවී තිබූ කෘතිම දත නිසි ලෙස සකස් කර සවි කිරීම සඳහා දන්ත වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට කටයුතු කළ බව අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.
සුරේශ් සලේ සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් කටයුතු කිරීමේදී මූලික අවශ්‍යතාවන් සහ සියලු පහසුකම් ලබාදී ඇති බවත් කිසිවක් උල්ලංඝනය වී නොමැති බවද අමාත්‍ය ආනන්ද විජේපාල අද (10) දින පාර්ලිමේන්තුවේදි සඳහන් කරයි.
සැකකරුට නීතිඥවරයා සමඟ අදහස් හුවමාරු කර ගැනීමට සහ නීති උපදෙස් ලබා ගැනීමට අවස්ථාව ලබාදී ඇති බවත් සැකකරු පදිංචි නිවස වෙත කැඳවාගෙන ගොස් බිරිඳ ඇතුළු ඥාතීන්ට අත්අඩංගුවට ගැනීමට හේතු වූ කරුණු පැහැදිලි කර දී, අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු වෙනුවෙන් නිකුත් කරනු ලබන නිල රිසිට්පත බිරිඳ වෙත භාරදී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72ක රැඳවුම් නියෝගවලින් පසු, එහි 9 වන වගන්තියේ නෛතික ප්‍රතිපාදන ප්‍රකාරව දින 90ක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබා ගැනීමට රැඳවුම් නියෝග ලබාගෙන ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
සැකකරු අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලිඛිතව දැනුම් දී ඇති බවත් ඔහුව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කළ බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
B 35882/1/2024 නඩු අංකය යටතේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර සුරේෂ් සලේව තෙවන සැකකරු ලෙස නම් කර ඇති අතර නඩුව කැඳවන දිනවලදී ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවත් මේ පිළිබඳව සැකකරුගේ සමීප ඥාතීන් ද දැනුවත් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
සෑම බදාදා දිනකම නීතිඥවරයා හමුවී අවශ්‍ය නීති උපදෙස් ලබා ගැනීමට අවස්ථාව සලසා ඇති බවත් සෑම සිකුරාදාවකම බිරිඳ, මව ඇතුළු සමීප ඥාතීන්ට දුරකථනයෙන් කතා කර සුවදුක් විමසීමටත්, සෑම සෙනසුරාදාවකම සමීප ඥාතීන් හමුවීමටත්, නිවසින් රැගෙන එන ආහාර, ඇඳුම් සහ වෙනත් පාන වර්ග ලබාදීමටත් කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් සංශෝධිත පනතේ ප්‍රතිපාදන අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිරමැදිරිය වෙත පැමිණ සැකකරු නිරීක්ෂණය කර ඇති අතර එහිදී තමන්ට වදහිංසා පැමිණවීමක් හෝ අමානුෂික සැලකීමක් සිදු වූ බවට සැකකරු මහේස්ත්‍රාත්වරයා වෙත කිසිදු පැමිණිල්ලක් කර නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
තවද අධිකරණ නියෝග ප්‍රකාරව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රීයන්ත අමරරත්නගේ නිර්දේශ මත සැකකරු විශේෂඥ වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් කර අවශ්‍ය ප්‍රතිකාර ලබාදී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට වෙත ඉදිරිපත් කර සුරේෂ් සලේගේ ඉකිලි ප්‍රදේශයේ තිබූ කුෂ්ඨ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර කර ඖෂධ ලබා දී ඇති බවත් විශේෂඥ පෝෂණවේදී වෛද්‍ය එච්. එම්. එන්.පී. හේරත් යටතේ පරීක්ෂා කර පෝෂණ අතිරේකයක් හා විටමින් වර්ගයක් ලබාදී ඇති අතර රසායනාගාර පරීක්ෂණ සඳහා සෞඛ්‍ය 272 පෝරමය මඟින් වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත සාම්පල යොමු කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ වෙත යොමු කර, නියම කරන ලද MRI පරීක්ෂණය කොළඹ ජාතික රෝහලේදී සිදු කර එම වාර්තා ද සමඟ සැකකරුව නැවත ඉදිරිපත් කර ඇති බවත් ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍ය දයාවංශ වෙත සැකකරු ඉදිරිපත් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
