Advertisements

මහණ වූ පසුදින කුඩා සාමනේර හිමි අපයෝජනය කළ විහාරාධිපතිට දුන් නියෝගය

අවුරුදු 9ක කුඩා සාමනේර හිමි නමක් මහණ දිවියට පත්වී ගතවූ පළමු දිනයේදීම බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ විහාරාධිපති හිමිනමකට අනුරාධපුර මහාධිකරණය මගින් පනවා තිබූ වසර 7ක සිරදඬුවම අභියාචනාධිකරණය විසින් අද (12) ස්ථීර කළේය.

මෙලෙස සිරදඬුවම් නියම වූයේ හංගමුවේ චන්ද්‍රානන්ද යන හිමිට වන අතර පී. කුමාරත්නම් සහ ආර්.පී. හෙට්ටියාරච්චි යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම අභියාචනා පෙත්සම විභාගයට ගත්තේය.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අධිචෝදනා පත්‍රයට අනුව මෙම අපරාධය සිදුව ඇත්තේ 2016 මැයි මස (16) වැනිදා සහ (21) වැනිදා අතර කාලය තුළදී වන අතර කුඩා සාමනේර හිමි සිය පවුලේ සාමාජිකයන් සමඟ පැමිණ පන්සලේ මහණ වී ඇති අතර මහණ වී ගතවූ පළමු දිනයේම මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත.

වින්දිත සාමනේර හිමියන් ලබාදුන් සාක්ෂි වලට අනුව, උන්වහන්සේ ඇඳක් මත නිදාගෙන සිටියදී එතැනට පැමිණි විහාරාධිපති හිමියන් මුලින්ම ලිංගික අවයව ස්පර්ශ කර ඇති අතර පසුව එය බරපතළ ලිංගික අපයෝජනයක් දක්වා දිගු වී ඇත.

අනතුරුව එම සිද්ධිය පිළිබඳව කුඩා සාමනේර හිමියන් සිය මවට පැවසීමෙන් පසු ඇය විසින් පොලිසියට පැමිණිලි කර ඇත.

නඩුව අනුරාධපුර මහාධිකරණයේදී මුලින්ම විභාගයට ගත් අතර ඉදිරිපත් වූ සාක්ෂි සලකා බැලූ මහාධිකරණය, චූදිත හිමිනම වරදකරු කරමින් වසර 7ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්, රුපියල් 5,000ක දඩයක්, වින්දිත සාමනේර හිමියන්ට රුපියල් ලක්ෂයක (100,000) වන්දි මුදලක් ගෙවන ලෙස දඬුවම් නියම කර ඇත.

අනතුරුව එම දඬුවමට එරෙහිව චූදිත හිමිනම අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් කියා සිටියේ සාක්ෂි පරස්පර බවත්, චෝදනාවේ සඳහන් කාලසීමාව වැරදි බවයි.

එම අභියාචනය සලකා බැලූ විනිසුරු මඩුල්ල වැදගත් කරුණු කිහිපයක් අවධාරණය කළ අතර සිද්ධිය වනවිට වින්දිතයා වයස අවුරුදු 9ක කුඩා දරුවෙකු බැවින්, වැඩිහිටියෙකුගෙන් බලාපොරොත්තු වන ආකාරයේ 100%ක නිරවද්‍යතාවයකින් යුත් සාක්ෂියක් අපේක්ෂා කළ නොහැකි බව අධිකරණය සඳහන් කර ඇත.

එම සිද්ධිය වූ වහාම පටිගත කරන ලද වීඩියෝ සාක්ෂි පරීක්ෂා කිරීමේදී, එම කුඩා හිමිනම මුළු සිද්ධියම ඉතා පැහැදිලිව විස්තර කර ඇති බව විනිසුරුවරු නිරීක්ෂණය කළ අතර දින වකවානු පිළිබඳ යම් යම් පරස්පරතා තිබුණද, මහණ වූ පසුදිනම මෙය සිදුවූ බව එම හිමිනම නිශ්චිතව පවසා ඇති බැවින් පැමිණිල්ල සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බව අධිකරණය පිළිගනු ලැබුවේය.

Advertisements
Advertisements
2 Comments
Most Voted
Newest Oldest