ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ ඇගයීමක්

LIVE

මැලේරියාව සහ මව්වරුන් හා අලුත උපන් බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කළ තත්ත්වය වසර 10ක් පුරා අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක් පිරිනමා ඇත.

මාලදිවයිනෙන් පසුව දකුණු-නැගෙනහිර ආසියානු කලාපයේ මැලේරියාව තුරන් කළ දෙවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇත.

ටිමෝර්-ලෙස්තේ හි ඩිලි නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසියේදී මෙම ඇගයීම් සහතිකය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත පිරිනමා ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අධානොම් ගෙබ්‍රියේසස් විසින් එම සහතිකය පිරිනමා ඇති අතර එය WHO දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කාර්යාලයේ භාරකාර නිලධාරී ආචාර්ය නිලේෂ් බුද්ධාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.

ශ්‍රී ලංකාව 2016 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මැලේරියාවෙන් තොර රටක් ලෙස නිල වශයෙන් සහතික කරනු ලැබු අතර එතැන් සිට වසර 10ක් පුරා රට තුළ මැලේරියාව නැවත ව්‍යාප්ත වීම වළක්වා ගනිමින් එම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම මෙහිදී ඇගයීමට ලක්ව ඇත.

මෙම ජයග්‍රහණ හුදෙක් සෞඛ්‍ය සන්ධිස්ථාන පමණක් නොව, ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සහ වඩාත් සෞඛ්‍ය සම්පන්න අනාගතයක් නිර්මාණය කිරීම සහතික කරන්නක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?