පසුගියදා සමාජය තුළ මහත් කතා බහට ලක්වූ 06 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අසැභි වෙබ් අඩවියක නමක් ඇතුළත් වීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ මූලික පරීක්ෂණ කමිටුව විසින් සිදුකළ විමර්ශනය අනුව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 06 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අවසාන මොහොතේ කළ සංශෝධනය නිසි ක්‍රමවේදයෙන් තොරව සිදුකර ඇති බවට අනාවරණය වී තිබේ.
මේ බව ප්‍රවාහන අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා සඳහන් කළේ රූපවාහිනී වැඩසටහනක් හා එක් වෙමිනි.
එම පරීක්ෂණ කමිටු වාර්තාවට අනුව ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගෙන තිබු අතර ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරිනියන් දෙදෙනෙකුගේද වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබුනි.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා පත්කළ ජාතික අධ්‍යාපන ආයතනයේ කමිටුව විසින් 8 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර ඉන් තිදෙනෙකුට විනය ක්‍රියාමාර්ග ගැනීමට යෝජනා කර තිබේ.
අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ පොතක් මුද්‍රණය කිරීමේදී 12 වතාවක් පරීක්ෂා කරන බවත් ඉන් පසු 3 වතාවක් සෝදුපත් පරීක්ෂාකරන බවත් ය.
“මේ පිටිපස්සේ කුමන්ත්‍රණයක් වුණාද කියලා හොයන එක ඉතාම තර්කානුකූලයි. පරීක්ෂණයේ ප්‍රතිඵලය තමා මේ තියෙන සම්පූර්ණ ක්‍රියාවලිය අවසාන මොහොතේ දී අනුගමනය කරන්නේ නැතුව කරපු සංශෝධනයක් නිසා. මේ හරහා ගිහින් තමා මොඩියුල කරලා තියෙන්නේ, හැබැයි අවසාන මොහොතේ කරන සංශෝධනය මේ හරහා ගිහින් නෑ.”

