පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රබලයන් පිරිසක් යළිත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වීමට සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වෙයි.
එම සාකච්ඡා බොහෝ දුරට සාර්ථක බව වාර්තා වන අතර ඉදිරි සති කිහිපයේදී රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ නියෝජ්‍ය ඇමතිවරයකු ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයකු යළිත් එම පක්ෂය සමග එක්වීමට බොහෝදුරට ඉඩ ඇති බවත් වාර්තා වේ.
පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදුන් හිටපු ඇමතිවරයකු වූ රමේෂ් පතිරණ මහතා පසුගිය 22 වැනිදා යළිත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්විය.
කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුන නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්ම පාක්ෂිකයන්ගේ මතය වූයේ පක්ෂය හැර ගිය පිරිස් නැවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත සම්බන්ධ කර නොගන්නා ලෙසයි.
එම මතය දැඩිව නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී. වීරසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණ සමයේදී ප්‍රසිද්ධියේ පවසා සිටියේ නැවත පක්ෂය හැර ගිය පිරිස් නැවත පක්ෂ වටා ඒක රාශී කරගන්නේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අත් හැර යන පලමුවැන්නා තමා බවයි.
කෙසේවෙතත් වර්තමානයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන් වීසිංහ මන්ත්‍රීවරයා මෙතෙක් ප්‍රකාශයක් සිදුකර නොමැත.

