අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත විසින් හිරු ටීවී නාලිකාවට එරෙහිව රුපියල් බිලියන 10ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කර ඇත.
අමාත්‍ය ලාල්කාන්ත විසින් ඉදිරිපත් කරන ලද වත්කම් හා බැරකම් ප්‍රකාශයක් වැරදි ලෙස අර්ථකථනය කරමින් අසත්‍ය සහ ද්වේශ සහගත පුවතක් පළ කිරීම සම්බන්ධයෙන් මෙම පියවර ගෙන ඇත.
2026 අප්‍රේල් මස (16) වන දින හිරු ටීවී ප්‍රවෘත්ති ප්‍රකාශය මගින් අමාත්‍යවරයා සතුව රුපියල් කෝටි 46 ඉක්මවන වත්කම් පවතින බවත් පෞද්ගලික ආයතන 10ක රුපියල් තිස් අටකෝටි තිස්නම ලක්ෂයකට අධික සුරකුම්පත් පවතින බවද ප්‍රකාශ කර ඇත.
අමාත්‍යවරයාගේ දියණිය සතු, වර්තමාන වටිනාකම රුපියල් 143,000කට ආසන්න කොටස් ප්‍රමාණයක අගය, සාවද්‍ය ලෙස රුපියල් තිස් අටකෝටි තිස්නම් ලක්ෂයක් ලෙස හුවා දක්වා ඇති බවද එම එන්තරවාසියෙහි සඳහන් වේ.
ඡන්ද දායකයන් සහ පාක්ෂිකයන් අතර අමාත්‍යවරයාව පිළිකුලට, අවමානයට සහ සමච්චලයට පත් කිරීමට මෙය හේතු වී ඇති බවත් එම හානිය වෙනුවෙන් රුපියල් බිලියන 10ක වන්දියක් මෙම එන්තරවාසිය ලැබී දින හතක් ඇතුළත ගෙවන ලෙස හිරු නාලිකාවට දන්වා ඇත.
රජය විසින් ලබාදුන් පොදු දේපළක් වන විකාශන සංඛ්‍යාත, පෞද්ගලික දේශපාලන වුවමනාවන් වෙනුවෙන් අවභාවිත කරන බැවින් හිරු නාලිකාවේ විකාශන බලපත්‍ර අවලංගු කරන ලෙස අදාළ බලධාරීන්ට කරුණු දැක්වීමටද කටයුතු කරන බවද සඳහන් කර ඇත.
කෙසේ වෙතත් මෙම ඉල්ලීම් ඉටු නොකරන්නේ නම් නෛතික පොලිය සහ නඩු ගාස්තු සහිතව වන්දිය අය කර ගැනීමට නඩු පවරන බවද සඳහන් කර ඇත.

