නිව්යෝර්ක් හි පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සිදු කළ නිල සංචාරය අතරතුර, ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත අතිගරු ජයන්ත ජයසූරිය යන මහත්වරුන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු නිත්‍ය නියෝජිත අතිගරු Michael G.Waltz මහතා සමඟ (23) දින සාකච්ඡාවක නිරත වූහ.
මෙහිදී එක්සත් ජාතීන්ගේ සාම සාධක සහ සාමය ගොඩනැගීමේ මෙහෙයුම් සඳහා පවතින සහයෝගීතාවය ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු වූ අතර, විශේෂයෙන්ම හයිටි රාජ්‍යයේ ක්‍රියාත්මක කල්ලි මර්දන බලකාය’ (Gang Suppression Force – GSF) සඳහා ශ්‍රී ලංකාවේ අනාගතදායකත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාව දක්වන අඛණ්ඩ කැපවීම තානාපති Waltz මහතාගේ ඇගයීමට ලක් වූ අතර, ඒ සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ සහයෝගය ද ඔහු යළිත් තහවුරු කළේය.
Multi-Role Logistics, Maritime Small Boat සහ Maritime Task Force වැනි විශේෂ ඒකක ඇතුළුව අතිරේක ශ්‍රී ලංකා හමුදා කණ්ඩායම් යෙදවීමේ අවස්ථා පිළිබඳව ද මෙහිදී සොයා බලන ලදී. බලකා මූලස්ථාන විධිවිධාන, ඵලදායී සම්බන්ධීකරණ යාන්ත්‍රණයන් සහ අණ හා මාණ්ඩලික (Command & Staff) තනතුරු සඳහා ශ්‍රී ලංකා නිලධාරීන් ඇතුළත් කර ගැනීම සම්බන්ධ කරුණු ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.
වැරදි තොරතුරු ප්‍රචාරණය මැඩපැවැත්වීම, ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂීය ප්‍රමිතීන්ට අනුකූල වීම සහතික කිරීම මෙන්ම සේවයේ යොදවන පිරිස් සඳහා වන පරීක්ෂණ සහ පුහුණු ක්‍රියාවලින් ශක්තිමත් කිරීම පිළිබඳව ද වැඩිදුරටත් අවධානය යොමු විය.
සියලුම විදේශීය මෙහෙයුම් වලදී ඉහළම මට්ටමේ විනයක් සහ වෘත්තීය මට්ටමක් පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ආරක්ෂක ලේකම්වරයා මෙහිදී විශේෂයෙන් අවධාරණය කළේය.

