යෝෂිත නාවික හමුදාවට ගියේ කොහොමද.? තොරතුරු රැසක් හෙළිවෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බැදී බ්‍රිතාන්‍යයේ පුහුණුව ලැබීමට අදාළව සිදුවූ ක්‍රියාවළිය පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඒ අනුව ඊයේ (16) දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණෙන ලෙසට දැනුම් දී තිබුණද, පැමිණීමට නොහැකි බවට යෝෂිත රාජපක්ෂ දැනුම්දීමෙන් පසුව අල්ලස් කොමිසම අද (17) දිනයේ පැමිණෙන ලෙසට දැනුම්දී ඇත.

මෙම සිදුවීමට අදාළව එවක නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලට් වසන්ත කරන්නාගොඩ ද ඊයේ දින අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණද, තමන් කැඳවීමට අදාළ ලිපිය තමන්ට ලැබී නොමැති බව සඳහන් කර ඇත.

ඒ අනුව හිටපු නාවින හමුදාපති වසන්ත කරන්නාගොඩට ලබන සතියේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දී ඇත.

මේ අතර පසුගිය 2006 වසරේ සැප්තැම්බර් මාසයේ දිනක එවක නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ බ්‍රිතාන්‍ය නාවික හමුදා ඇකඩමියෙන් යෝෂිත රාජපක්ෂ එම ඇකඩමියට බඳවා ගත හැකිදැයි විමසා ලිපියක් යවා ඇත.

එම ලිපියට ප්‍රතිචාර දක්වමින්, අදාළ ඉල්ලීම ඉටු කළ හැකි බවට එම ඇකඩමිය එම වසරේ නොවැම්බර් මාසයේ දිනක දැනුම් දී ඇතත්, බ්‍රිතාන්‍ය නාවික හමුදා ඇකඩමිය ඒ සඳහා පූර්ණ ශිෂ්‍යත්වයක් ලබානොදී ගෙවීමක් කළ යුතු බව දැනුම්දී ඇත.

කෙසේ වෙතත් යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බැදීමේදී මූලික සුදුසුකම් සම්බන්ධව ගැටලුවක් අල්ලස් කොමිසම සිදුකළ විමර්ශන වලට අනුව හෙළිවී ඇත.

නාවික හමුදාවට බඳවා ගන්නා කෙඩෙට් නිලධාරියෙකු උසස් පෙළ විභාගය ජීව විද්‍යා හෝ ගණිතය විෂය ධාරාවෙන් සමත් වී තිබිය යුතු අතර යෝෂිත රාජපක්ෂ කලා විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරා තිබීම හේතුවෙන් අදාළ තනතුරට බඳවා ගැනීම සම්බන්ධයෙන් නිර්දේශ කළ සුදුසුකම් සංශෝධනය කර නැවත දැන්වීම් පළ කර බදවා ගැනීම සිදුකර ඇති බව සිදුකළ විමර්ශනයේදී හෙළිවී ඇත.

Advertisements
Advertisements
1 Comment
Most Voted
Newest Oldest