අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ සිය උපවාසය අත්නොහරින බවට යළිත් වතාවක් අවධාරණය කර ඇති බව වාර්තා වේ.
තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් කුටිය වෙත යළිත් පැමිණීමට අකමැති බවත් මරණය ඊට වඩා සුදුසු බවත් සුරේෂ් සලේ ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
තමන් නැවත වතාවක් අදාළ රැඳවුම් කුටියට පැමිණීමට අකමැති බවත් එම ස්ථානය නිරයක් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා තමන් සමග පෞද්ගලික වෛරයක් පවතින බවද සුරේෂ් සලේ සඳහන් කර ඇත.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සුරේෂ් සලේ බැලීම සඳහා ඔහුගේ පෞද්ගලික නිතීඥවරයා ගිය අවස්ථාවේ මේ බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
මේ අතර පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව සිදුකරන විමර්ශන වලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය පෙබරවාරි (25) වැනිදා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂක සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තේය.
අනතුරුව පාස්කු ත්‍රස්ත ප්‍රහාරය මැතිවරණයක් ඉලක්ක කරගෙන සුරේෂ් සලේගේ මෙහෙයවීමෙන් සිදුකර ඇති බවත් ප්‍රහාරයේ මහ මොළකරු සුරේෂ් සලේ යන්න පැහැදිලි වන බවද අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් පසුගිය මැය (20) වනදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
“පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාවට ප්‍රකාශයක් සිදුකළ අසාත් මවුලානා නමැත්තාගෙන් ප්‍රංශයේදී ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ප්‍රංශයට ගිහින් එහි ශ්‍රී ලංකා තානාපතිවරයාගේ නිල නිවසේදී තමයි මේ ප්‍රකාශය සටහන් කර ගත්තේ.
ඔහු එම ප්‍රකාශය තුළින් පාස්කු ප්‍රහාරය ගැන දීර්ඝ විස්තරයක් කර තිබෙනවා. ඔහුගේ ප්‍රකාශයට අනුව තුවාන් සුරේෂ් සලේ මේ ප්‍රහාරයේ මහමොලකරු වශයෙන් කටයුතු කර තිබෙන බව පැහැදිලි වෙනවා. දේශපාලන අවශ්‍යතාවයක් ඉටුකිරීම සඳහායි එය කර තිබෙන්නේ.”
“මේ ප්‍රහාරයෙන් පසුව මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන අය මඩකලපුව බන්ධනාගාරයට ගිහින් පිල්ලයාන් හමුවෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වී සතියකින් එළියට ගන්නා බවට ඔවුන් පිල්ලයාන්ට දැනුම් දෙනවා. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙනවා.
ඉන් පසුව යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වශයෙන් කටයුතු කර තිබූ සුරේෂ් සලේව සමස්ථ රාජ්‍ය බුද්ධි සේවයේම ප්‍රධානියා වශයෙන් පත්කරනවා. එසේ කරන්නේ බුද්ධි තොරතුරු වෙනත් අංශ වෙත ගමන් කිරීම වැළැක්වීමටයි. සෙයිනි මවුලවී රක්ෂිත බන්ධනාගාර ගත වුණාම ඔහුට ඇප ගන්න රුපියල් දෙලක්ෂ පනස්දාසක මුදලක් වැය කරනවා.
ඒ මුදල ගෙවලා තිබෙන්නේ යුද හමුදා බුද්ධි අංශයෙන්. ස්වයං ඝාතකයින් ආරක්ෂා කරගන්න අපේ මහජන මුදල් වැය කර තිබෙනවා. එසේ කරලා තිබෙන්නේ මාස හයකින් එළඹෙන ඡන්දය තෙක් මෙම අන්තවාදී ක්‍රියා සම්බන්ධ තොරතුරු හෙළිදරව් වීම වැළැක්වීමටයි.
පිල්ලයාන්ගේ කල්ලිය සහ යුද හමුදා බුද්ධි අංශය එකට කටයුතු කර තිබෙනවා. එසේ කටයුතු කර තිබෙන්නේ රටේ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් නෙමෙයි. දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළිගැනීමට හා ඝාතන සිදු කරන්නයි එසේ කටයුතු කරලා තිබෙන්නේ.”
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළිිිවී තිබියදීත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මේ විදිහට හැසිරෙන්නේ ඇයි.? ඔහුට උඩින් සිටිනා ප්‍රබල දේශපාලඥයින් කවුද.? ඔවුන්ගේ නම් හෙළිකිරීමට තිබෙන බය නිසාද සලේ මෙහෙම හැසිරෙන්නේ.?
මේ අතර පසුගිය (16) වනදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ, හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේට කළ හැකි නිවැරදිම දෙය වන්නේ තමන් සතු සියලු තොරතුරු හෙළි කරමින් පාස්කු ප්‍රහාරයේ විමර්ශන වලට සහාය වීම බවයි.
හිටපු බුද්ධි නිලධාරියෙකු සහ හමුදා නිලධාරියෙකු ලෙස සුරේෂ් සලේ දන්නා සියලුම තොරතුරු සඟවාගෙන සිටීමෙන් කිසිදු පලක් නොවන බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේය.
තවද පාස්කු ප්‍රහාරයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඇති සම්බන්ධය පිළිබඳව විමර්ශන වලින් හෙළිදරව් වන ආකාරයට ඔහුව අත්අඩංගුවට ගැනීම හෝ නොගැනීම තීන්දු වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේය.
එනිසා ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට ගැනීම හෝ නොගැනීම තීරණය වන්නේ දේශපාලන අවශ්‍යතාවන් මත නොව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදුකරන විමර්ශනවලදී හෙළිදරව් වන කරුණු සහ සාක්ෂි අනුව පමණක් බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ සහ විමර්ශන සිදුවන ආකාරය මෙන්ම කරුණු හෙළිදරව් වන ආකාරය දෙස බැලීමේදී, එම විමර්ශන නිවැරදිව ඉදිරියට ඇදෙන විට එය තමන් දෙසට පැමිණෙනු ඇතැයි ඇතැම් පාර්ශවයන් තුළ භීතියක් ඇති විය හැකි බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේය.
