ඉන්ධන අලෙවියෙන් ලාභ ඉපැයීමේ අරමුණක් රජයට නොමැති බවත් රජය විසින් සෑම ඩීසල් ලීටරයකටම රුපියල් 100ක සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක පමණ සහනාධාරයක් ජනතාව වෙනුවෙන් ලබාදෙන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.
මේ වනවිට ලෝක වෙළඳපොළේ පවතින ඉන්ධන මිල මට්ටම ඉදිරියටත් පැවතුනහොත්, ලබන අගෝස්තු හෝ සැප්තැම්බර් මාසය වන විට එහි සහනය මෙරට ජනතාවට ලබාදීමට හැකිවනු ඇති බවද අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.
ඉන්ධන මිලදී ගැනීම සාමාන්‍ය වෙළඳපොළෙන් භාණ්ඩ මිලදී ගැනීමක් මෙන් ක්ෂණිකව සිදුකළ නොහැකි බවත් එය නිසි ටෙන්ඩර් පටිපාටි වලට අනුව එකඟ වූ මිල ගණන් යටතේ ලබා ගැනීමට සිදුවන බවද අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.
අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ,
“තෙල් ගන්නේ කඩේට ගිහින් බඩුවක් ගන්නවා වගේ නෙමේ. කලින් ටෙන්ඩර් කරලා ගන්නේ. ඒ ටෙන්ඩර් අනුව එන ඒවා, ඒ මිලටම ගන්න වෙනවා. නමුත් අපි හිතනවා අගෝස්තු, සැප්තැම්බර් මාසය වෙද්දී මේ තත්ත්වයම තිබුණොත් ජනතාවට සහනයක් ලැබෙයි කියලා.
රටේ ආර්ථිකයටත් ඒක අවශ්‍යයි. මේ ඔක්කොම දේවල් කරන්න පුලුවන් වෙලා තියෙන්නේ ආර්ථිකය ඉහළ මට්ටමකට, ඒ කියන්නේ ආර්ථිකයේ ඉහළ කොටස අපි ගොඩ නඟලා තියන නිසා. ආණ්ඩුව තෙල් වලින් ලාභ උපයන්න බලාපොරොත්තුවක් නෑ.”
