හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ කොළඹ පිහිටි නිල නිවස ඉදිරිපිට “මල් වඩම්” තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි ගොනු කරන ලෙස කුරුඳුවත්ත පොලිසිය වෙත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් ඊයේ (22) නියෝගයක් නිකුත් කර ඇත.
සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීවට එරෙහිව සිදු කෙරෙන විමර්ශනය අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී දැනට ඇප මත පසුවන සැකකරු අධිකරණයේ පෙනී සිටි අතර මෙම සිදුවීමට අදාළ කරුණු නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීම සඳහා යොමු කර ඇති බව කුරුඳුවත්ත පොලිසිය එහිදී සඳහන් කළේය.
තවද එම සැකකරු සම්බන්ධයෙන් 486 සහ 433 යන වගන්ති යටතේ පැමිණිලි ගොනු කොට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා පොලිසියට දන්වා සිටියේය.
අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා මෙම නඩුව නැවතත් සැප්තැම්බර් (14) වැනිදා කැඳවීමට නියෝග කළේය.
අදාළ නිල නිවස ඉදිරිපිට මල් වඩමක් තබමින් සපරාධී බියගැන්වීමක් මෙන්ම අපහාසයක් සිදු කර ඇති බවට කෙහෙළියගේ දියණිය වන හිරුණිකා රඹුක්වැල්ල විසින් කරන ලද පැමිණිල්ලකට අනුව එම විමර්ශනය ආරම්භ වී තිබුණේය.
