තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ (27) දින කැඳවයි.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ,
“ස්වාමීණි.. මෙම පෙත්සම මැයි මස (07) වැනිදා පළමු වරට කැදෙව්වා. ඒ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය අසාද් මවුලානාගේ ප්‍රකාශය පදනම් කර ගනිමින් කරුණු දැක්වූවා. ඉන් පසුව ජුනි (04) වැනිදා පෙත්සම කැඳවූවා. ඒ අවස්ථාවේදී විමර්ශකයින් භාරයේ පෙත්සම්කරු වධහිංසාවට ලක්ව ඇති බව පවසමින් කරුණු දැක්වීමක් කළා.
ජුනි (10) පෙත්සම කැඳවූ අවස්ථාවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ FBI සංවිධානයේ විමර්ශකයන් ශ්‍රී ලංකාවට පැමිණ පරීක්ෂණ සිදුකර මොහොමඩ් නව්ෆර් ඇතුළු පිරිසකට විරුද්ධව එරට අධිකරණයේදී නඩු පවරනු ලැබූ බවත් එම නඩුවට අදාළව FBI සංවිධානයේ විමර්ශන නිලධාරියකු දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ලබාදී තිබු බවත් එම දිව්රුම් ප්‍රකාශය අනුව පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු “සහරාන් හෂිම්” බවට තහවුරු වී ඇති බවත් පෙත්සම්කරු පවසා සිටියා.
ජුනි (11) වැනිදා පෙත්සම කැඳවූ අවස්ථාවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජයකී ද අල්විස්, මලල්ගොඩ කමිටු වාර්තාව, ඉමාම් කොමිෂන් සභා වාර්තාව ඇතුළු වාර්තා 05ක් පිළිබඳ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානී අබේසේකරට විරුද්ධව කොමිෂන් සභා වාර්තා වල කරුණු තිබෙන බැවින් ඔහුට විමර්ශන සිදුකළ නොහැකි බව පැවසුවා.
මේ ආකාරයට පෙත්සම්කරුවන් දින හතක් පුරා කරුණු දක්වමින් මූලික ලෙස පැවසූවේ මෙම පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානී අබේසේකර කිසිසේත්ම සිදු නොකළ යුතු විමර්ශනයක් බවයි. පෙත්සම්කරුට එරෙහිව සිදුවන විමර්ශනයට අදාලව තවත් සැකකරුවන් දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා. ඔවුන් සම්බන්ධවද විමර්ශන සිදු කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා යටතේ.
එවැනි තත්ත්වයක් හමුවේ පෙත්සම්කරු පවසන අන්දමින් ඔහු පිළිබඳව සිදු කරන විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාගෙන් ඉවත් කිරීමට කිසිදු පදනමක් නෑ. ශානි අබේසේකර තමා කෙරෙහි ද්වේෂසහගත ආකල්පයකින් පසු වන බව පෙත්සම්කරු ප්‍රකාශ කර තිබුණා.
මෙම විමර්ශනය ශානි අබේසේකරගෙන් ඉවත් කරන ලෙසත් පෙත්සම්කරු මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා තිබුණා. මහේස්ත්‍රාත් අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ රොහාන් සිල්වා පියතුමා විසින්. එය ඉදිරිපත් කරන්නේ මහජන ආරක්ෂක අමාත්‍යංශය වෙත. පසුව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්තුමා එම පැමිණිල්ල පොලිස්පති වෙත යොමු කරනවා. පොලිස්පතිවරයා තමයි එය විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරන්නේ.
මෙම විමර්ශනයට අදාළ පළමු බී වාර්තාව ඉදිරිපත් වන්නේ, 2024 වසරේ නොවැම්බර් මස (11) වනදා. එම අවස්ථාවේදී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තබා පොලිස් සේවයේවත් හිටියේ නෑ. ඒ වගේම 2024 නොවැම්බර් මස (15) වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සුරේෂ් සලේ සහ පිල්ලයාන්ට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබා ගන්නවා.
එම නියෝග ලබා ගත්තේ ශානි අබේසේකර නොවෙයි. ඒ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ලෙස කටයුතු කළේ මංගල දෙහිදෙනිය යි. තවත් අධ්යක්ෂවරියක් වන හිමේෂා මුතුමාලී යටතේත් මේ විමර්ශනය සිදුවී තිබෙනවා. මේක බරපතළ විමර්ශනක්. මේ විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන්නේ නැතිව පිටකොටුව පොලීසිය කරන්න ද.?”
වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් අධිකරණය හමුවේ සඳහන් කළේ,
“ස්වාමීණී.. පෙත්සම්කාර සුරේෂ් සලේ අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණා, 2019 වසරේ ජනවාරි මස (03) වනදා තමන් ආරක්ෂක පාඨමාලාවක් සඳහා ඉන්දියාවට පිටව ගොස් නැවත පැමිණියේ එම වසරේ දෙසැම්බර් මස බවට පවසා තිබෙනවා. මේ නඩුකරය සමග පෙත්සම්කරුගේ රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයේ මෙන් ම රාජකාරී විදේශ ගමන් බලපත්‍රවල පිටපත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
පෙත්සම්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ප්‍රකාශයේ සඳහන් කර තිබුණා, තමන් මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රාජකාරී අවසන් වී පැමිණීමෙන් පසුව සිය රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය විදේශ අමාත්‍යංශයට භාරදුන් බවට ප්‍රකාශ කර තිබෙනවා. නමුත් ඔහු මෙම නඩුකරයට එම රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයේ සත්‍ය පිටපතක් ඉදිරිපත් කර තිබෙනවා.
එම විදේශ ගමන් බලපත්‍රය විදේශ අමාත්‍යංශයට භාර දුන්නා නම් එහි සත්‍ය පිටපතක් අධිකරණයට ඉදිරිපත් කරන්නේ කෙසේ ද.? ඕනෑම විදේශ ගමන් බලපත්‍රයක පිටු 64ක් පවතිනවා. නමුත් ඔහුගේ රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ, තෝරගත් පිටු 17ක් හෝ 18ක් පමණයි. රාජකාරී විදේශ ගමන් බලපත්‍රයේ පිටු හතරක් පමණයි අධිකරණයට ඉදිරිපත් කරලා තිබෙන්නේ.
ඔහුගේ රාජකාරී විදේශ ගමන් බලපත්‍රයේ 56 වන පිටුවේ මුද්‍රා කිහිපයක් දකින්නට තිබෙනවා. 2019 වසරේ මැයි මස (18) වනදා ඉන්දීය ආගමන හා විගමන අංශයේ මුද්‍රාවක් තිබෙනවා. එහි සඳහන් වෙනවා “ඩිපාචර්” (Departure) යනුවෙන්. ඉන් පසුව 2019 වසරේ ජූනි මාසයේ ඉන්දියානු ආගමන හා විගමන අංශයේ තවත් මුද්‍රාවක් දකින්නට තිබෙනවා. එහි සඳහන් වෙනවා “එන්ටර්ඩ්” (Entered) යනුවෙන්.
පෙත්සම්කරු අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණේ ආරක්ෂක පාඨමාලාව සඳහා ඉන්දියාවට පිටව ගිය පසු එරටින් බැහැර නොවූ බවට. එසේ නම් මෙම මුද්‍රාවලින් ඔහු ඉන්දියාවෙන් බැහැර වී තිබෙන බව පැහැදිලි වෙනවා. මෙම විමර්ශනවලට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීලා තිබෙනවා.
ඒ තුළින් හේමසිරි ප්‍රනාන්දු කියා තිබෙනවා පාස්කු ප්‍රහාරයට මාසයකට හෝ මාස එක හමාරකට පමණ පෙර එවක යුද හමුදාපතිව සිටි මහේෂ් සේනානායක තමන්ට දුරකතන ඇමතුමක් ලබාදී බ්‍රිගේඩියර් සුරේෂ් සලේට තමන් හමුවීමට අවශ්‍ය බව දැනුම් දුන් බව. එම අවස්ථාවේදී තමන් කාර්ය බහුල තත්ත්වයක නොසිටි බැවින් තමන් හමුවන ලෙස දැනුම් දුන් බවත් හේමසිරි ප්‍රනාන්දු ප්‍රකාශ කර තිබෙනවා.
අසාද් මවුලානාගේ ප්‍රකාශයේත් සඳහන් වෙනවා එම වකවානුවේ සුරේෂ් සලේ ශ්‍රී ලංකාවේ සිටි බවට. ස්වාමීනි.. මේ කරුණු කිසිවක් පෙත්සම්කාර සුරේෂ් සලේ අධිකරණයට ඉදිරිපත් කර නැහැ. ඒ සියල්ල ඔහු වසන් කර තිබෙනවා. රිට් අයැදුම් පතකින් සහනයක් ලබා ගැනීමට නම් සියලු කරුණු අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. නමුත් ඔහු එසේ කටයුතු කර නැහැ. ඔහු අධිකරණයට ඉදිරියට පැමිණ තිබෙන්නේ පිරිසුදු දෑතින් නෙවෙයි. මෙවැනි පෙත්සමක් නීතිය ඉදිරියේ පවත්වාගෙන යන්නේ කෙසේ ද.?”
වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් අධිකරණය හමුවේ සඳහන් කළේ,
“ස්වාමීනී.. පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට පෙත්සම්කාර සුරේෂ් සලේ විසින් බාධා කර තිබෙන ආකාරය එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් කටයුතු කළ ප්‍රසාද් රණසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී තිබෙන කට උත්තරේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා.
2019 වසරේ සයින්දමර්දු ප්‍රදේශයේ ඇති වූ පිපිරීමකින් “සාරා ජස්මින්” නමැති කාන්තාවක් මිය නොගිය බවටත්, ඇය ඉන්දියාවට පලා ගිය බවටත් කතාබහක් ඇති වුණා. මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරියාකාරව විමර්ශන නොකළ බවට සුරේෂ් සලේ විමර්ශන සමාලෝචන රැස්වීම්වලදී චෝදනා මුඛයෙන් කතා කර තිබුණා.
සාරා ජස්මින් නමැති කාන්තාව එම ස්ථානයේදී මියගිය බවටත්, ඩී.එන්.ඒ. පරීක්ෂණ හරියාකාරව සිදු නොකළ බවටත් සුරේෂ් සලේ අවස්ථා ගණනාවකදී ම චෝදනා කර තිබූ බව නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රකාශයේ සඳහන් වෙනවා. සුරේෂ් සලේගේ මතය වුණේ ඩී.එන්.ඒ. පරීක්ෂණයක් නැවත සිදුකළ යුතු බවයි.
ඒ අනුව ජනාධිපතිතුමා ලවා එම කාර්යය ඔහු ඉටු කර ගත් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලබාදී තිබෙන ප්‍රකාශයේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මෙම ප්‍රකාශය 2026 වසරේ මාර්තු මස (11) වනදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවේ සඳහන් කර තිබෙනවා.”

