ගෝලීය එල්-නිනෝ කාලගුණ විපර්යාසයත් සමග ශ්‍රී ලංකාව වටා මුහුදේ මත්ස්‍ය ගහනය ගැවසෙන සිතියම සහ මසුන් සංක්‍රමණය වන කලාප වෙනස් වී ඇති බවට විශ්වාස කෙරේ.
අභ්‍යන්තර ජල මූලාශ්‍ර සිඳී ගියහොත්, සමස්ත මිරිදිය මත්ස්‍ය ගහනය විනාශ වී යා හැකි බැවින්, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) මේ වනවිට මේ සම්බන්ධයෙන් පර්යේෂණයක් ආරම්භ කර ඇත.
එ අනුව එල්-නිනෝ තත්ත්වය නිසා ඇති විය හැකි බලපෑම පිළිබඳ අධ්‍යයනය සඳහා නාරා ආයතනය කණ්ඩායම් 5ක් යොදවා ඇති බව නාරා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ලලිත් අමරලාල් සඳහන් කරයි.
එල්-නිනෝ තත්ත්වයෙන් මෙරට සාගරයට සහ මත්ස්‍ය අස්වැන්නට සිදුවිය හැකි නිෂ්චිත බලපෑම ගැන නිවැරදිවම ප්‍රකාශ කළ හැක්කේ, අදාළ අධ්‍යයනයෙන් ලබා ගන්නා දත්ත විශ්ලේෂණයෙන් පසුව බවද අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ලලිත් අමරලාල් සඳහන් කරයි.
ඒ අනුව නාරා ආයතනය මගින් සාගර උෂ්ණත්වය, රළ මට්ටමේ විචල්‍යයන් වැනි පර්යේෂණාත්මක මට්ටමේ දත්ත එක්රැස් කිරීම් ආරම්භ කර ඇති අතර මාස දෙකක් ඇතුළත අදාළ අධ්‍යයනය අවසන් කිරීමට නාරා ආයතනය අපේක්ෂා කරයි.
නොගැඹුරු මුහුදු ප්‍රදේශවල, ශ්‍රී ලංකාවට දකුණ, බටහිර, වයඹ හා උතුරු පළාත්වල එක්දින ධීවර කර්මාන්තයේ නියැලෙන ධීවරයින් වාරකන් සමය නිසා දැනට සතියකට දින දෙකක් හෝ තුනක් පමණක් ධීවර කටයුතු වල නිරත වන බව වාර්තා වේ.
