චීන සමාගමකින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20,000ක් අඩංගු නෞකාවක් මෙරටට ආනයනය කිරීම මඟින් රජයට අමෙරිකානු ඩොලර් මිලියන 6.7කට අධික පාඩුවක් සිදු කිරීම.
රජයට අමෙරිකානු ඩොලර් මිලියන 6.7කට අධික පාඩුවක් සිදු කිරීමට සැකපිට අල්ලස් කොමිසම විසින් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු සැකකරුවන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.
මෙම නඩුකරය අද (25) දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වු අතර සිරදඬුවම් විඳිමින් සිටින මහින්දානන්ද අලුත්ගමගේව මෙහිදී බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
එහිදී විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වන බැවින්, විමර්ශන අවසන් කර කරුණු වාර්තා කිරීම සඳහා දිනක් ලබාදෙන ලෙස අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, අදාළ නඩුව නැවත දෙසැම්බර් මස (04) වන දින කැඳවන ලෙසට නියෝග කළ අතර එදින විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසද අල්ලස් කොමිසමට නියෝග කළේය.
