නීතියට පිටින් ගොස් පාර්ලිමේන්තුවේ විධායක නිලධාරීන් තිදෙනෙකුට සහනදායි මෝටර් රථ බලපත්‍ර ලබාදී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් නිකුත් කෙරුණු විශේෂ විගණන වාර්තාවේ මේ බව සඳහන් වේ.
වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛය ප්‍රකාරව සහනදායි මෝටර් වාහන බලපත්‍ර හිමි වන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජේෂ්ඨ මට්ටමේ විධායක තනතුරක වසර හයක සක්‍රීය සේවා කාලයක් සම්පූර්ණ කර ඇති හා තනතුරෙහි ස්ථිර කර ඇති නිධාරීන් සඳහා පමණක් බව එම වාර්තාවේ දැක්වේ.
එහෙත් මෙම නිලධාරීන් තිදෙනාම සම්පූර්ණ කර ඇත්තේ වසරකට තරමක් වැඩි සේවා කාලයක් පමණක් බව සදහන් වන අතර එම සහනදායි මෝටර් වාහන බලපත්‍රවල වටිනාකම රුපියල් එක්කෝටි අට ලක්ෂයකි.
නිලධාරීන් තිදෙනෙකුට සහනදායි පදනම මත මෝටර් රථ වාහන බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන ලද නිලධාරින් සම්බන්ධවත්, එම මෝටර් රථ බලපත්‍ර ගත් නිලධාරීන් සම්බන්ධවත් පවතින නීතිරීති යටතේ ක්‍රියාමාර්ග ගතයුතු බවට ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.
